
ආදරය වෛරයක් වූ මොහොත – කහතුඩුව ඇඟලුම් සේවිකාවකගේ ගෙල කපා මැරූ පෙම්වතා පලා යයි
කහතුඩුව ප්‍රදේශයේ පිහිටි ඇඟලුම් කර්මාන්ත ශාලාවක අද (04) පෙරවරුවේ සිදුවූ අතිශය කම්පන සහගත ඝාතනයකින් මුළු ප්‍රදේශයම සසල වී තිබෙනවා.
වසරක පමණ කාලයක සිට පැවති ප්‍රේම සබඳතාවක් ලේ විලකින් කෙළවර කරමින්, එම ආයතනයේම සේවය කළ සහායකයෙකු විසින් 25 හැවිරිදි තරුණියකගේ ගෙල කපා අමානුෂික ලෙස ඝාතනය කර ඇත.
පොලිස් විමර්ශනවලට අනුව, මියගිය තරුණිය සහ සැකකරු අතර කලක සිට ප්‍රේම සබඳතාවක් පැවතී තිබේ.
නමුත් මෑතක සිට තරුණිය සැකකරුව මගහැරීමට උත්සාහ කර ඇති අතර, දින කිහිපයක සිට ඔහු සමඟ කතා නොකර සිටීම මෙම දරුණු වෛරයට මුල් වී ඇති බව වාර්තා වේ.
බදුල්ල, කැප්පෙටිපොළ පදිංචි 33 හැවිරිදි මෙම සැකකරු විවාහකයෙකු බවද පොලිසිය අනාවරණය කරගෙන ඇත.
අද පෙරවරුවේ තරුණිය රැකියාවට වාර්තා කර තම අත්බෑගය තැබීම සඳහා වෙන්කර ඇති ස්ථානයට යමින් සිටියදී, එහි පැමිණි සැකකරු ඇය සමඟ බහින්බස් වී තිබේ.
අනතුරුව සඟවාගෙන සිටි පිහියකින් ඇගේ ගෙල කපා දමා ඔහු එම ස්ථානයෙන් පලා ගොස් ඇත.
බරපතල තුවාල ලැබූ තරුණිය වෑතර රෝහලට ඇතුළත් කළද ඒ වන විටත් ඇය ජීවිතක්ෂයට පත්ව සිටියාය.
ඝාතනය සිදු කිරීමෙන් පසු සැකකරු තමා තාවකාලිකව පදිංචිව සිටි නවාතැන්පොළට ගොස්, ඇඳුම් බෑගයක්ද රැගෙන වහාම ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බව පොලිසිය පවසයි.
ඝාතනයට යොදාගත් බවට සැක කෙරෙන රුධිරය තැවරුණු පිහිය පොලිසිය විසින් එම ස්ථානයේදීම සොයාගෙන ඇත.
මියගිය තරුණිය බුලත්සිංහල, ගෝවින්න ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි අවිවාහක තරුණියකි.
ඇය 2023 වසරේ සිට මෙම කර්මාන්ත ශාලාවේ සේවය කර ඇති අතර, සැකකරු එහි සේවයට පැමිණ ඇත්තේ 2024 අගෝස්තු මාසයේදීය.
පලාගිය සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා කහතුඩුව පොලිසිය මේ වන විට විශේෂ මෙහෙයුමක් දියත් කර තිබේ.

