
“වෛරයෙන් වෛරය නොසංසිඳේ” – ලෝක සාමය වෙනුවෙන් පෙරට එන්නැයි අස්ගිරි අනුනාහිමියන්ගෙන් බලවතුන්ට ඇරයුම්
ඉරාන නෞකා දෙකක සිටි පිරිසට ජාත්‍යන්තර සම්මුතීන්ට අනුකූලව මානුෂීය ආධාර ලබාදීම සඳහා ශ්‍රී ලංකා රජය ඉදිරිපත් වීම බෙහෙවින් අගය කළ යුතු බව අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනාහිමියෝ පවසනවා.
උන්වහන්සේ මේ බව අවධාරණය කළේ මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හමුවේ ශ්‍රී ලංකාවේ මැදිහත්වීම සම්බන්ධයෙන් මාධ්‍ය වෙත විශේෂ අදහස් දක්වමින්.
ලෝක බලවතුන් යුද්ධයක පැටලී සිටින මෙවන් අසීරු අවස්ථාවක, ජනාධිපතිවරයා ඉතා බුද්ධිමත්ව අවශ්‍ය තීරණය අවශ්‍ය මොහොතේම ගෙන ඇති බව උන්වහන්සේ පෙන්වා දෙනවා.
ඇමරිකාව සහ ඉරානය අතර පවතින යුදමය තත්ත්වය ශ්‍රී ලංකාව වැනි පෙරදිග රටවලටද වක්‍රාකාරව බලපාන බව සඳහන් කළ අනුනාහිමියෝ, පසුගියදා ශ්‍රී ලංකා මුහුදු සීමාව ආසන්නයේදී ඇමරිකානු ප්‍රහාරයකින් ඉරාන යුද නෞකාවක් විනාශ වූ අවස්ථාවේ රජය ක්‍රියා කළ ආකාරය ප්‍රශංසාවට ලක් කළහ.
“එම අවස්ථාවේ විපතට පත් ජනතාවට පිහිට වීම සඳහා රජය ගත් තීරණය අප අගය කළ යුතුයි. ජාත්‍යන්තර සම්මුතීන්ට එකඟව ක්‍රියා කරන රටක් ලෙස අප එම තීරණය ගත යුතුව තිබුණා. තවත් ඉරාන නැවක් ශ්‍රී ලංකා මුහුදු සීමාවට පැමිණ ආධාර ඉල්ලා සිටි අවස්ථාවේදීත් ජනාධිපතිවරයා ඉතාම බුද්ධිමත්ව ඊට මැදිහත් වුණා.”
බලවත් රටවල් අතර පවතින ගැටුමකදී එක් පාර්ශවයකට පමණක් පක්ෂපාතී නොවී මධ්‍යස්ථව කටයුතු කිරීමේ වැදගත්කම උන්වහන්සේ මෙහිදී වැඩිදුරටත් පැහැදිලි කරනවා.
ත්‍රිකුණාමලය වරායට නෞකාව රැගෙන ඒමටත්, ඉරාන නැවියන්ට ආරක්ෂාව හා මානුෂීය සහන සැලසීමටත් රජය ගත් පියවර අනෙකුත් බලවත් රටවලටද අගතියක් නොවන සාධනීය තීරණයක් බව උන්වහන්සේගේ අදහසයි.
තිස් අවුරුදු යුද්ධයකින් බැටකෑ ජාතියක් ලෙස ශ්‍රී ලාංකිකයින් සෑමවිටම අපේක්ෂා කරන්නේ සාමය බවත්, “වෛරයෙන් වෛරය නොසංසිඳේ” යන බුද්ධ දේශනාව ලෝක බලවතුන් අවබෝධ කරගත යුතු බවත් උන්වහන්සේ අවධාරණය කරනවා.

