
”ලීටරයක මිල රුපියල් 55කින් නගියි” – පකිස්ථානය අද රෑ ඉඳන් තෙල් සෙල්ලම පටන් ගනියි
මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති දැඩි නොසන්සුන්කාරී වාතාවරණය හමුවේ පකිස්ථාන රජය එරට ඉන්ධන මිල ගණන් විශාල ලෙස ඉහළ දැමීමට පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව පෙට්‍රල් සහ ඩීසල් ලීටරයක මිල රුපියල් 55ක මුදලකින් ඉහළ නංවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මෙම නව මිල සංශෝධනය අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන අතර එය ඉදිරි දින හතක කාලය සඳහා බලපැවැත්වෙන බව පකිස්ථාන බලධාරීන් නිවේදනය කර ඇත.
මැදපෙරදිග කලාපයේ පවතින අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ගණන්වල සිදුවන උච්චාවචනයන් හමුවේ මෙම තීරණය ගැනීමට සිදු වූ බව පකිස්ථාන රජය සඳහන් කරන්නේ.
එරට ආර්ථිකය මුහුණ දී සිටින අභියෝග හමුවේ ඉන්ධන සහනාධාරය තවදුරටත් පවත්වාගෙන යාම අසීරු වීම හේතුවෙන් මෙම බර ජනතාව මත පැටවීමට රජයට සිදුව තිබේ.
මෙම මිල ඉහළ යාමත් සමඟ එරට ප්‍රවාහන ගාස්තු සහ අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ගණන් තවදුරටත් ඉහළ යනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයෝ අනතුරු අඟවති.
දැනටමත් ඉහළ උද්ධමනයකින් පීඩා විඳින පකිස්ථාන වැසියන්ට මෙම හදිසි මිල වැඩිවීම දැඩි බලපෑමක් එල්ල කරනු ඇතැයි වාර්තා වේ.
පකිස්ථාන බලධාරීන් පවසන පරිදි ඉදිරි සතියෙන් පසුව නැවත වරක් ලෝක වෙළඳපොළ මිල ගණන් සලකා බලා මිල සංශෝධනයක් සිදු කිරීමට නියමිතයි.

