
අප්‍රේල් මැද වනතුරු දිවයිනටම ‘දැඩි උණුසුමක්’- සෞඛ්‍යය ගැන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් විශේෂ අනතුරු ඇඟවීමක්
දිවයිනේ ප්‍රදේශ රැසක පවතින අධික උණුසුම් සහිත කාලගුණික තත්ත්වය එළඹෙන අප්‍රේල් මස මැද දක්වාම අපේක්ෂා කළ හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
විශේෂයෙන්ම පරිසරයේ සුළගේ වේගය අඩුවීම හේතුවෙන්, සැබෑ උෂ්ණත්වයට වඩා වැඩි උණුසුමක් මිනිස් සිරුරට දැනෙන බව එම දෙපාර්තමේන්තුව අවධාරණය කරන්නේ.
පසුගිය පැය 24 ක කාලය තුළ දිවයිනේ සටහන් වූ උෂ්ණත්ව දත්ත මෙන්න:
උපරිම උෂ්ණත්වය: රත්නපුරයෙන් සෙල්සියස් අංශක 36.4°C ක් ලෙස වාර්තා විය.
අවම උෂ්ණත්වය: නුවරඑළියෙන් සෙල්සියස් අංශක 8.1°C ක් ලෙස සටහන් විය.
වැසි: මොනරාගල හඳපානාගල ප්‍රදේශයට මි.මී 13.8ක සුළු වර්ෂාපතනයක් ලැබී තිබේ.
සෞඛ්යාරක්ෂිත පියවර:
පවතින දැඩි උණුසුම නිසා ඇතිවිය හැකි සෞඛ්‍ය ගැටලු මගහරවා ගැනීමට පහත උපදෙස් පිළිපදින ලෙස දැනුම් දී ඇත:
වැඩිපුර ජලය පානය කරන්න: පිපාසය දැනෙන තුරු නොසිට නිතර නිතර ජලය පානය කරන්න.
පාසල් දරුවන් ගැන අවධානය: විශේෂයෙන් පාසල් දරුවන් ක්‍රීඩා කටයුතු සඳහා යෙදවීමේදී ගුරුවරුන් ඒ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කළ යුතුය.
එළිමහන් වැඩ සීමා කරන්න: අධික වෙහෙසකින් යුතුව වැඩකටයුතු කරන පුද්ගලයින් තම ශරීර සෞඛ්‍යය පිළිබඳව විමසිලිමත් විය යුතු අතර ප්‍රමාණවත් විවේකයක් ලබාගත යුතුය.

