මහරගම පමුණුව පාරේ, එක්සත් සුබ සාධක මාවතේ පිහිටි දෙමහල් නිවසක ඉහළ මහලට කිසියම් පිරිසක් විසින් ගිනි තැබීමෙන් එකම පවුලේ මව සහ දියණිය අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඊයේ (18) සිදුවූ මෙම සිදුවීමෙන් තවත් පිරිමි පුද්ගලයන් දෙදෙනෙකු බරපතළ පිළිස්සුම් තුවාල ලබා රෝහල්ගත කර ඇති බව මහරගම පොලීසිය පවසයි.
මෙම බිහිසුණු අපරාධයෙන් මියගොස් ඇත්තේ එම නිවසේ කුලී පදනම මත පදිංචිව සිටි 55 හැවිරිදි මව සහ ඇගේ 16 හැවිරිදි දියණියයි.
ගින්න හේතුවෙන් බරපතළ තුවාල ලබා රෝහල්ගත කර ඇත්තේ මියගිය දැරියගේ පියා සහ නිවසේ හිමිකරු වන 76 හැවිරිදි පුද්ගලයෙකි.
නිවස ගිනිගන්නා අවස්ථාවේදී වහා ක්‍රියාත්මක වූ අසල්වැසියන් ගින්න නිවා දමා තුවාල ලබා සිටි පිරිමි පුද්ගලයන් දෙදෙනා රෝහල්ගත කිරීමට කටයුතු කර ඇත.
පසුව නිවස තවදුරටත් පරීක්ෂා කිරීමේදී එක් කාමරයක් තුළ තිබී මියගිය කාන්තාවන් දෙදෙනාගේ මළ සිරුරු හමුවී තිබේ.
අපරාධය සිදුවූ ස්ථානය පරීක්ෂා කිරීමේදී එහි දැඩි පෙට්‍රල් ගන්ධයක් වහනය වී ඇති අතර, මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මෙය කිසියම් පිරිසක් විසින් සැලසුම් සහගතව නිවසට ගිනි තබා සිදුකළ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක් බවයි.
මෙම අපරාධය සිදුකිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, මහරගම පොලීසිය විසින් අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත.

