2019 අප්‍රේල් 21 වනදා එල්ල වූ බිහිසුණු පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදට (21) වසර 7ක් සපිරේ.
ඒ නිමිත්තෙන් ප්‍රහාරයෙන් වින්දිතයන් වූ පිරිස් සැමරීම සහ ඔවුන්ට සාධාරණය ඉටුවීම ප්‍රාර්ථනා කරමින් විශේෂ සැමරුම් වැඩසටහන් රැසක් දිවයින පුරා සංවිධානය කර ඇති බව ජාතික කතෝලික සභාව නිවේදනය කරයි.
අද දින ප්‍රධාන සැමරුම් උත්සවය කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයේදී පැවැත්වීමට නියමිතය.
කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ සහ ඇන්ටන් රංජිත් සහයක රදගුරු හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම අවස්ථාවට සර්ව ආගමික නායකයින්, විදේශීය තානාපතිවරුන් සහ ප්‍රහාරයෙන් පීඩාවට පත් පවුල්වල සාමාජිකයින් සහභාගී වීමට නියමිතව ඇත.
ප්‍රහාරයෙන් මියගිය සහ තුවාල ලැබූවන් සිහිපත් කරමින් අද පෙරවරු 8.45 ට දිවයිනේ සියලුම දේවස්ථානවල මළවුන්ගේ සීනුව නාද කෙරෙන අතර, ඉන් අනතුරුව මිනිත්තු දෙකක නිශ්ශබ්දතාවක් ආරක්ෂා කිරීමට කටයුතු යොදා ඇත.
අනතුරුව පෙරවරු 8.47 ට ඉටිපන්දම් හෝ පොල්තෙල් පහන් දල්වා විශේෂ යාඥා මෙහෙයන් පැවැත්වීමට නියමිතය.
මීගමුව කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේදී ද අද පෙරවරු 7.30 ට විශේෂ දිව්‍ය පූජාවක් පැවැත්වෙන අතර, ප්‍රහාරයෙන් මියගිය අය වෙනුවෙන් ඉදිකළ ස්මාරකය අසලදී පහන් දල්වා ගෞරව දැක්වීමට නියමිතය.
මීට අමතරව, පස්වරු 4.00 ට මාරිස්ටෙලා විද්‍යාලීය ක්‍රීඩාංගණයෙන් ආරම්භ වන විශේෂ ‘යැදුම් පාගමනක්’ කටුවාපිටිය දේවස්ථානය දක්වා ගමන් කිරීමට සංවිධානය කර ඇත.
කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ පැවැත්වෙන ප්‍රධාන දේව මෙහෙය හේතුවෙන් අද උදෑසන 7.00 සිට එම කටයුතු අවසන් වන තෙක් දේවස්ථානය අවට මාර්ගවල රථවාහන ගමනාගමනය අවස්ථානුකූලව සීමා කරන බව පොලීසිය මහජනතාවට දැනුම් දෙයි.

