ලොව පුරා අවිහිංසාවාදී පණිවිඩය ප්‍රචලිත කිරීමේ අරමුණින් සංවිධානය කරනු ලබන “ජාත්‍යන්තර සාම පාද යාත්‍රාව” එළඹෙන 22 වැනිදා අනුරාධපුර ඓතිහාසික පුදබිමෙන් ආරම්භ වීමට නියමිතය.
මෙම මහා පාගමනට සහභාගී වීම සඳහා ඇමරිකානු සාම පාගමනට නායකත්වය දුන් අලුත්ගම පඤ්ඤාකර ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය දොළොස්නමක් මේ වන විටත් දිවයිනට වැඩම කර සිටිති.
ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අබියසින් ආරම්භ වන මෙම ගමන, අටමස්ථානාධිපති අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නයේ ආශිර්වාදය යටතේ සිදු කෙරේ.
විශේෂත්වය වන්නේ මෙම පාද යාත්‍රාව සමඟ ඓතිහාසික ශ්‍රී මහා බෝධි අංකුරයක්ද වැඩම කරවීමයි.
22 වැනිදා අනුරාධපුරයෙන් ඇරඹෙන පාගමන ප්‍රධාන නගර රැසක් හරහා ගමන් කිරීමට සැලසුම් කර ඇත:
ගමන් මඟ: අනුරාධපුර → දඹුල්ල → නාඋල → මාතලේ → මහනුවර → කඩුගන්නාව → කෑගල්ල → තෝලංගමුව → කජුගම → යක්කල → මහර → කැලණිය.
අවසන් ගමනාන්තය: අප්‍රේල් 28 වැනි දින කොළඹ නිදහස් චතුරස්‍රය.
පාද යාත්‍රාවෙන් වැඩම කරවන ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුර ශාඛාව, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් ඇමරිකාවේ සිට වැඩම කළ මහා සංඝරත්නය වෙත පූජා කිරීමට නියමිතව ඇත.
එම උතුම් ශාඛාව ඇමරිකා එක්සත් ජනපදය වෙත වැඩම කරවා රෝපණය කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.

