ඉරානයට එරෙහිව දියත් කළ යුද මෙහෙයුම්වලදී අමෙරිකාව බලාපොරොත්තු වූ අරමුණු ඉතා සමීපයටම පැමිණ ඇති බවත්, ඒ අනුව සිය හමුදා මෙහෙයුම් අවසන් කිරීම පිළිබඳව සලකා බලමින් සිටින බවත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.
ජනාධිපතිවරයා මේ බව අනාවරණය කළේ සිය නිල ‘Truth’ සමාජ මාධ්‍ය ගිණුමේ විශේෂ සටහනක් තබමින්.
ඉරානය සතු මිසයිල හැකියාව සම්පූර්ණයෙන්ම බිඳහෙළීමට අමෙරිකානු හමුදාවන්ට හැකි වූ බවත්, ඉරානයේ යුද ශක්තිය හීන කිරීම ඇතුළු ජයග්‍රහණ රැසක් අත්කර ගැනීමට සමත් වූ බවත් ට්‍රම්ප් එහි සඳහන් කර ඇත.
විශේෂයෙන්ම ඉරානයේ යුද උපකරණ නිපදවන ප්‍රධාන කඳවුරු විනාශ කිරීමට හැකි වූ බැවින්, එම රටට නැවත කිසි දිනෙක න්‍යෂ්ටික අවි නිපදවීමට උත්සාහ කිරීමට පවා නොහැකි වනු ඇති බව ඔහු වැඩිදුරටත් අවධාරණය කරයි.
මෙම මෙහෙයුම් හරහා මැදපෙරදිග කලාපයේ අමෙරිකානු මිත්‍ර රටවල් වන ඊශ්‍රායලය, සෞදි අරාබිය, කටාර්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, බහරේනය සහ කුවේට් යන රටවල් ඉරාන තර්ජනවලින් මුදාගෙන සුරක්ෂිත කිරීමට හැකි වූ බව ජනාධිපතිවරයා පවසා තිබේ.
කෙසේ වෙතත්, ලෝක වෙළඳාමට අතිශය වැදගත් වන හෝමූස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) පිළිබඳව ට්‍රම්ප් මෙහිදී විශේෂ කොන්දේසියක් ඉදිරිපත් කර ඇත.
එම මුහුදු සීමාව භාවිත කරන අනෙකුත් රටවල් එහි ආරක්ෂාව සහතික කිරීමේ වගකීම මින් ඉදිරියට භාරගත යුතු බව ඔහු සිය සටහන මගින් පවසා තිබේ.
අමෙරිකාව සිය යුද මෙහෙයුම් අවසන් කිරීම පිළිබඳව නිල වශයෙන් සලකා බැලීමත් සමඟ මැදපෙරදිග කලාපයේ පවතින උණුසුම්කාරී වාතාවරණය ඉදිරියේදී වෙනස් වනු ඇති බවට දේශපාලන විචාරකයෝ මත පළ කරති.

