ඉරාන ආරක්ෂක අංශ විසින් අමෙරිකානු F-15 වර්ගයේ ප්‍රහාරක ජෙට් යානයක් ඊයේ (03) දින බිම හෙළීමත් සමඟ ලෝක දේශපාලන කරළිය උණුසුම් වී තිබේ.
මෙම ප්‍රහාරයෙන් යානය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර, එහි ගමන් කළ ගුවන් නියමුවන් දෙදෙනාගෙන් එක් අයෙකු දිවි බේරාගෙන ඇතත්, අනෙක් නියමුවා මේ වනවිට අතුරුදන්ව සිටින බව වාර්තා වේ.
අතුරුදන්ව සිටින එම අමෙරිකානු නියමුවා අල්ලා ගැනීමට හෝ ඔහු සිටින තැනක් පිළිබඳ තොරතුරු ලබා දෙන ඕනෑම පුරවැසියෙකුට අමෙරිකානු ඩොලර් 66,100ක (ශ්‍රී ලංකා රුපියල් කෝටි 2කට අධික) දැවැන්ත ත්‍යාගයක් ලබා දෙන බව ඉරාන රජය නිල වශයෙන් ප්‍රකාශ කර තිබේ.
තම රටේ ආරක්ෂාව වෙනුවෙන් මෙම පියවර ගත් බව පවසන ඉරාන බලධාරීන්, නියමුවා අල්ලා ගැනීම සඳහා මහජනතාවගේ සහය දැඩිව අපේක්ෂා කරයි.
මේ අතර, තමන්ගේ අතුරුදන් වූ නියමුවා සොයා ගැනීම සඳහා අමෙරිකාව මේ වනවිට දැවැන්ත සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර ඇත.
තම හමුදා සාමාජිකයා ඉරාන අත්අඩංගුවට පත්වීමට පෙර ඔහු බේරා ගැනීම අමෙරිකාවේ ප්රමුඛ අරමුණ වී තිබේ.
මෙම සිදුවීමත් සමඟ කලාපයේ උණුසුම්කාරී තත්ත්වය තවදුරටත් උග්‍ර වී ඇති අතර, ඉදිරි පැය කිහිපය තුළ දෙරටේම ක්‍රියාමාර්ග කෙරෙහි ලෝකයේම අවධානය යොමුව තිබේ.

