පවතින ඉන්ධන සැපයීමේ ගැටලුව සැලකිල්ලට ගනිමින් හෙට (17) සිට ක්‍රියාත්මක වන පරිදි සෑම සතියකම බදාදා දිනය රජයේ සියලුම පාසල් සඳහා නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට රජය තීරණය කර තිබෙනවා.
අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව මහතා සඳහන් කළේ, රාජ්‍ය සේවකයින්ට සෑම බදාදා දිනකම නිවාඩු ලබාදීමට රජය ගත් තීරණයට සමගාමීව පාසල් පද්ධතිය සඳහා ද මෙම තීරණය ගත් බවයි.
මේ වන විට මතුව ඇති බලශක්ති අභියෝග කළමනාකරණය කර ගනිමින් රටේ ආර්ථික ක්‍රියාවලිය සහ අත්‍යාවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදී මෙම තීන්දුව ගෙන ඇත.
මේ පිළිබඳව කරුණු පැහැදිලි කරමින් අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා සඳහන් කළේ, මෙම නිවාඩුව රජයේ පාසල්වලට අමතරව විශ්වවිද්‍යාල සහ අධිකරණ ක්ෂේත්රයට ද අදාළ වන බවයි.
කෙසේ වෙතත්, සෞඛ්‍ය, වරාය, ජලය සහ විදුලිය වැනි අත්‍යාවශ්‍ය සේවා කාණ්ඩයන් සඳහා මෙම නිවාඩු දිනය අදාළ නොවන බව ද ඒ මහතා අවධාරණය කරනවා.
රටේ පවතින තත්ත්වය අධ්‍යයනය කර ඉදිරි කටයුතු සම්බන්ධීකරණය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධාන කමිටු 4ක් පත් කිරීමට ද මෙහිදී පියවර ගෙන තිබේ.
ඒ අනුව හෙට සිට නැවත දැනුම් දෙන තුරු මෙම සතිපතා බදාදා නිවාඩුව ක්‍රියාත්මක වනු ඇත.

