මෙවර සිංහල සහ දෙමළ අලුත් අවුරුදු නැකැත් සීට්ටුව සම්බන්ධයෙන් පැන නැගී තිබූ මතභේදකාරී තත්ත්වය සමථයකට පත් කරමින්, සියලු පාර්ශව එක්ව ඒකාබද්ධ නැකැත් සීට්ටුවක් ඉදිරිපත් කිරීමට එකඟතාව පළ කර තිබේ.
බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිඳුම සුනිල් සෙනවි මහතා මේ බව තහවුරු කළේය.
අලුත් අවුරුදු නැකැත් තීරණය කිරීම සඳහා පත් කර තිබූ නිල නැකැත් කමිටුව මීට පෙර විසුරුවා හැර තිබූ අතර, රජය විසින් නව කමිටුවක් පත් කිරීමට මෙතෙක් පියවර නොගැනීම නිසා ජ්‍යෝතිර්වේදීන් අතර මතභේදයක් නිර්මාණය වී තිබුණි.
මේ හේතුවෙන් කණ්ඩායම් කිහිපයක් වෙන වෙනම නැකැත් ඉදිරිපත් කිරීම නිසා ජනතාව තුළද දැඩි අවිනිශ්චිතතාවයක් හටගෙන තිබුණි.
මෙම අර්බුදයට විසඳුම් සෙවීම සඳහා විකල්ප නැකැත් කණ්ඩායමේ ජ්‍යෝතිර්වේදීන් ඇතුළු පිරිසක් අද (16) පෙරවරුවේ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේදී අමාත්‍යවරයා හමුවිය. එහිදී කණ්ඩායම් දෙකම ඒකාබද්ධ වී එක් නැකැත් සීට්ටුවක් ජනතාව වෙත ඉදිරිපත් කිරීමට එකඟ වූ බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

