පවතින ගෝලීය දේශපාලනික නොසන්සුන්තාවය හමුවේ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර, අද (මාර්තු 16) වන විට බ්‍රෙන්ට් (Brent) වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 103 මට්ටමටත්, WTI වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 98 මට්ටමටත් වාර්තා වී තිබේ.
මැදපෙරදිග කලාපයේ පවතින ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා සිදුවන තෙල් ප්‍රවාහනයට බාධා එල්ල වීම මෙම මිල ඉහළ යාමට ප්‍රධාන හේතුව වී ඇතැයි ආර්ථික විශ්ලේෂකයෝ පවසති.
මෙය වසර කිහිපයකට පසු වාර්තා වූ ඉහළම මිල අගයන් අතරින් එකකි.
ලෝක වෙළඳපොළේ මිල ඉහළ යාම සහ මෙරට තුළ ඇති වී තිබෙන අධික ඉන්ධන ඉල්ලුම පාලනය කිරීම සඳහා රජය විසින් ඊයේ (මාර්තු 15) සිට ක්‍රියාත්මක වන පරිදි නැවතත් QR කේත ක්‍රමය යටතේ ඉන්ධන සලාක ක්‍රමයක් හඳුන්වා දී ඇත.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසන්නේ රට තුළ ප්‍රමාණවත් තෙල් තොග පවතින බවත්, පෝලිම් ඇතිවීම වැළැක්වීම සඳහා මෙම පියවර ගත් බවත්ය.
කෙසේ වෙතත්, ඉන්ධන පිරවුම්හල් අසල පෝලිම් නිර්මාණය වී ඇති ආකාරය දක්නට ලැබෙන අතර, QR පද්ධතියේ ඇති වූ තාක්ෂණික දෝෂ හේතුවෙන් ඇතැම් ස්ථානවල නොසන්සුන් තත්ත්වයන් ද වාර්තා විය.

