මිනිස් ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ‘ARTEMIS – II’ මෙහෙයුම යටතේ ගඟනගාමීන් සිව්දෙනෙකු රැගත් Orion අභ්‍යවකාශ යානය, සාර්ථකව පෘථිවි කක්ෂය පසුකර සඳ බලා යන දීර්ඝ ගමන ආරම්භ කර තිබෙනවා.
පෘථිවිය වටා පැය 23කට අධික කාලයක් භ්‍රමණය වෙමින් සිය පද්ධති පරීක්ෂා කිරීමෙන් අනතුරුව, යානය මේ වන විට සඳ දෙසට විද්‍යුත් වේගයෙන් ගමන් කරමින් පවතින බව නාසා ආයතනය තහවුරු කරයි.
නාසා නිවේදනයට අනුව, Orion යානයට සඳෙහි කක්ෂය වෙත ළඟා වීමට තවත් දින 4ක කාලයක් ගතවනු ඇත.
සියල්ල සැලසුම් කළ පරිදි සිදුවුවහොත්, ලබන අප්‍රේල් 6 වනදා මිනිස් ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් වනු ඇත.
ඒ, පෘථිවියට කිසිදා නොපෙනෙන සඳෙහි අනෙක් පස (Far side of the Moon) වටා ගඟනගාමීන් පිරිසක් ගමන් කරන ප්‍රථම අවස්ථාව මෙය වන බැවිනි.
අවසාන වරට මිනිසෙකු සඳ ආශ්රිත මෙහෙයුමකට එක්වූයේ 1972 වසරේදීය. ඒ අනුව වසර 50කට වැඩි කාලයකට පසු සඳේ කක්ෂය වෙත සිදුකරන ප්‍රථම මිනිස් මෙහෙයුම ලෙස මෙය ඉතිහාසගත වේ.
මෙම දින 10ක ත්‍රාසජනක මෙහෙයුමේ මූලික අරමුණ වන්නේ, ඉදිරි වසරවලදී සඳ මත මිනිසුන් ස්ථිරවම පදිංචි කිරීමේ ‘Artemis’ අනාගත මෙහෙයුම් සඳහා අවශ්‍ය පදනම සහ ආරක්ෂාව තහවුරු කර ගැනීමයි.
ෆ්ලොරිඩාවේ කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් ශ්‍රී ලංකා වේලාවෙන් ඊයේ අලුයම 3:54 ට පමණ ගුවන්ගත වූ මෙම යානය, මේ වන විට පෘථිවියේ සිට කිලෝමීටර් දහස් ගණනක් ඈතින් පිහිටි අභ්‍යවකාශයේ ගමන් කරමින් සිටී.
මෙම ගමන මෑත ඉතිහාසයේ සඳ ආශ්‍රිතව සිදු කෙරෙන තීරණාත්මකම සහ අවදානම් සහගතම මිනිස් මෙහෙයුම ලෙස විද්‍යාඥයෝ හඳුන්වති.
ලෝකයම දෑස් දල්වා බලා සිටින මෙම මෙහෙයුමේ මීළඟ තීරණාත්මක පියවර වන්නේ අප්‍රේල් 6 වනදා සඳ වටා සිදුකරන එම ඓතිහාසික හැරවුමයි.

