ඇමෙරිකාව සහ ඉරානය අතර සති දෙකක තාවකාලික සටන් විරාමයක් ප්‍රකාශයට පත් කර පැය කිහිපයක් ගත වීමටත් මත්තෙන්, ඊශ්‍රායලය ලෙබනනය පුරා එල්ල කළ දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවකින් පුද්ගලයින් 254 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව අල් ජසීරා පුවත් සේවය වාර්තා කරයි.
ඊයේ (08) දවස පුරා ක්‍රියාත්මක වූ මෙම හමුදා මෙහෙයුම, පසුගිය මාර්තු 02 වැනිදා ලෙබනනය තුළ නව යුධ මෙහෙයුම් ආරම්භ කිරීමෙන් පසු ඊශ්‍රායලය එල්ල කළ විශාලතම සහ දරුණුතම ප්‍රහාරය ලෙස සැලකේ.
ලෙබනන සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට අනුව, මෙම ප්‍රහාර හේතුවෙන් තවත් පුද්ගලයින් 1,165 දෙනෙකු බරපතල තුවාල ලබා රෝහල්ගත කර ඇත.
කලාපීය සාමය උදෙසා සති දෙකක තාවකාලික සටන් විරාමයක් පිළිබඳ බලාපොරොත්තු දල්වා තිබූ මොහොතක, බේරූට් අගනුවර ඇතුළු ප්‍රදේශ කිහිපයකට එල්ල වූ මෙම ප්‍රහාරය ජාත්‍යන්තර ප්‍රජාවගේ දැඩි අවධානයට ලක්ව තිබේ.
ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ ඉරානය සමඟ ඇති කරගත් සටන් විරාමය ලෙබනනය තුළ ක්‍රියාත්මක වන හිස්බුල්ලා විරෝධී මෙහෙයුම් සඳහා අදාළ නොවන බවයි.
ප්‍රහාරවලින් පීඩාවට පත් වූවන් අතර බහුතරයක් සිවිල් වැසියන් වන අතර, පවතින උණුසුම් තත්ත්වය හමුවේ ලෙබනනයේ සෞඛ්‍ය පද්ධතිය සහ සහන සේවා දැඩි අර්බුදයකට ලක්ව ඇති බව වාර්තා වේ.
මාර්තු මාසයේ සිට ආරම්භ වූ මෙම යුධමය තත්ත්වය හේතුවෙන් මේ වන විට ලෙබනනය තුළ විශාල මානුෂීය ඛේදවාචකයක් නිර්මාණය වෙමින් පවතින බව විදේශීය මාධ්‍ය පෙන්වා දෙයි.
මූලාශ්‍ර: අල් ජසීරා (Al Jazeera) ඇසුරිනි.

