පාලන මිල ඉක්මවා සහල් අලෙවි කළ වෙළෙඳසැල් 105ක් වැටලීමට පසුගිය සති දෙක තුළ කටයුතු කළ බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසනවා .
එම අධිකාරිය පැවසුවේ එලෙස වැඩි මිලට සහල් අලෙවි කළ වෙළෙඳ සැල් සඳහා නඩු පැවරීමට ද කටයුතු කළ බවයි.
සහල් සඳහා පාලන මිලක් නියම කර ඇති බැවින් එම මිලට වඩා වැඩි මිලකට සහල් අලෙවි කරන්නේ නම් නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බවද එම අධිකාරිය පවසා සිටියා .
සහල් අලෙවියේදී වැඩි මිලට අලෙවි කරන තනි පුද්ගල ව්‍යාපාරයෙකු වේ නම් ඔහුට එරෙහිව නඩු පැවරීමේදි ඔහු වැරදිකරු වුවහොත් රුපියල් ලක්ෂයේ සිට රුපියල් ලක්ෂ 05 දක්වා දඩ මුදලක් හෝ මාස 05ක සිර දඬුවමක් නියම කළ හැකි බවත් නැතහොත් එම දඩ මුදල හෝ සිර දඬුවම යන දෙකම නියම කිරීමටද හැකියාවක් ඇති බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසා සිටියා .
එමෙන්ම පෞද්ගලික සමාගමක් වරදකරු වන්නේ නම් රුපියල් ලක්ෂ 05 සිට රුපියල් ලක්ෂ 50 දක්වා දඩයක් නියම කිරීමටත් සහල් සඟවා තැබීම සම්බන්ධයෙන් වරදකරු වුවහොත් දඩ මුදලක් හෝ සිර දඬුවම හෝ ඉහත දෙකම මෙන්ම අදාළ භාණ්ඩ තොගය රාජසන්තක කිරිමටද අධිකාරිය පනත යටතේ අධිකරණයට හැකි බවද එම අධිකාරිය පවසා සිටියා.
මේ අතර වසරේ මේ දක්වා කාලය තුළ සහල් සම්බන්ධ වැටලීම් 3,000 ඉක්මවීමටද පාරිභෝගික කටයුතු අධිකාරිය සමත්ව තිබෙනවා .
එම වැටලීම්වලින් 1,000කට අධික ප්‍රමාණයකට නීතිමය කටයුතු සිදුකර ඇතැයිද එම අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් මහතා පසුගියදා පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පවසා සිටියා .

