සිංහල හා හින්දු අලුත් අවුරුදු චාරිත්‍ර අතර සුවිශේෂී ස්ථානයක් ගන්නා හිසතෙල් ගෑමේ රාජ්‍ය උත්සවය මෙවර මහනුවර ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේ පිහිටි ඓතිහාසික නාථ දේවාලයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.
මේ සම්බන්ධයෙන් වූ විශේෂ පූර්ව සංවිධාන සාකච්ඡාවක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (13) මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා.
මල්වතු සහ අස්ගිරි උභය මහා විහාරීය අනුනායක හිමිවරුන්ගේ අනුශාසකත්වයෙන් සහ අමාත්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් නියමිත සුබ නැකතට අනුව මෙම ජාතික උත්සවය පැවැත්වීමට නියමිතයි.
මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කළේ, රාජ්‍ය හිසතෙල් ගෑමේ උත්සවය කිසිදු අඩුපාඩුවකින් තොරව, එහි ගෞරවය හා වටිනාකම සුරැකෙන පරිදි සංවිධානය කිරීම රජයේ අරමුණ බවයි.
මෙම වැදගත් සංස්කෘතික මංගල්‍යය සඳහා රාජ්‍ය නිලධාරීන් මෙන්ම විශාල ජනකායක් සහභාගී වනු ඇතැයි ද අමාත්‍යවරයා සදහන් කළා.

