කිරින්ද ධීවර වරායේ වැලි ඉවත් කිරීමේ කටයුතු කොරියානු සමාගමකට පැවරීම තුළින් රජයට රුපියල් ලක්ෂ 260 කට අධික පාඩුවක් සිදු කළ බවට චෝදනා කරමින් හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙකුට එරෙහිව මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කරන බව අල්ලස් කොමිසම ඊයේ (26) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දෙනු ලැබුවා .
මෙම නඩුකරය ඊයේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා ඉදිරියේ කැඳවා තිබු අතර එහිදී අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණයට දැනුම් දුන්නේ මෙම සිද්ධියට අදාළ විමර්ශන කටයුතු අවසන් වීමෙන් පසුව මෙම සැකකරුවන්ට එරෙහිව මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කිරීමට කටයුතු කරන බවයි.
මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න සහ ධීවර වරාය නීතිගත සංස්ථාවේ හිටපු සභාපති උපාලි ලියනගේ යන අය නම් කර තිබෙනවා .
ඔවුන් මේ වනවිට අධිකරණය විසින් ඇප මත මුදාහැර සිටින අතර මෙම නඩුකරය යළි ජනවාරි මස 30 වනදා කැඳවීමට නියමිතව තිබෙනවා .

