1972 වසරෙන් පසු සඳ තරණය කිරීමේ අරමුණින් ආරම්භ කළ ‘ආටෙමිස් II’ මෙහෙයුමේ ගගනගාමීන් විසින් අභ්‍යවකාශයේ සිට ලබාගත් පෘථිවියේ පළමු ඡායාරූප පෙළ නාසා (NASA) ආයතනය විසින් නිල වශයෙන් මුදාහැර තිබේ.
නාසා ආයතනය සිය නිල X ගිණුම ඔස්සේ “ඒ අපි!” (That’s us!) යන ආකර්ෂණීය ශීර්ෂ පාඨය සමඟින් එම ඓතිහාසික ඡායාරූපය ප්‍රසිද්ධියට පත් කර ඇත.
සඳ බලා ගමන් ගන්නා ඔරායන් (Orion) අභ්‍යවකාශ යානය සිය මෙහෙයුමේ පළමු දිනය පෘථිවි කක්ෂයේ ගත කළේ යානයේ ජීවිත ආධාරක පද්ධති සහ වායු පද්ධතිවල ක්‍රියාකාරීත්වය පරීක්ෂා කිරීම සඳහාය.
කෙසේ වෙතත්, යානය අභ්‍යවකාශගත වී පැය කිහිපයකට පසු එහි වැසිකිළි පද්ධතියේ අනපේක්ෂිත තාක්ෂණික දෝෂයක් මතු විය.
පාලක මැදිරියේ උපදෙස් සහ සහාය ඇතිව එම ගැටළුව සාර්ථකව නිරාකරණය කර ගැනීමට ගගනගාමීන් කණ්ඩායම සමත් විය.
එම බාධාව ජයගැනීමෙන් අනතුරුව යානය පෘථිවි කක්ෂයෙන් ඉවත්ව සඳ දෙසට ගමන් කිරීමේ දිශානතියට යොමු කෙරිණි.
නාසා ආයතනය නිවේදනය කරන්නේ, මෙහෙයුමට එක්ව සිටින ගගනගාමීන් සිව්දෙනාම ඉතා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවත්, යානය සියලු පද්ධති නිසි ලෙස ක්‍රියාත්මක කරමින් ගමන් කරන බවත්ය.
සිය පළමු දින අත්දැකීම් හුවමාරු කරගැනීම සඳහා ගගනගාමීන් කණ්ඩායම අද දින නාසා පාලක මැදිරිය සමඟ වීඩියෝ ඇමතුමක් ඔස්සේ සම්බන්ධ විය.
මෙම ගමන සාර්ථකව ඉදිරියට ඇදෙමින් පවතින අතර, තවත් දින 3කට නොඅඩු කාලයකදී ඔරායන් යානය චන්ද්‍රයා ආසන්නයට ළඟා වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

