පවුල් පාලනයකට මග පාදයි..? කමේනිගෙන් පසු ඉරානයේ කිරුළ පුත් මොජ්ටාබාට? – නිව්යෝර්ක් ටයිම්ස් අනාවරණය කරයි..

ඉරානයේ හිටපු උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ අභාවයෙන් පසු, එරට මීළඟ උත්තරීතර නායකයා ලෙස ඔහුගේ දෙවන පුත්‍රයා වන 56 හැවිරිදි මොජ්ටාබා කමේනි පත්වීමට වැඩිම ඉඩකඩක් ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා.
නිව්යෝර්ක් ටයිම්ස් (The New York Times) වාර්තා කරන පරිදි, ඉරානයේ නව නායකයා තෝරාපත් කරගන්නා ‘විශේෂඥ මණ්ඩලය’ (Assembly of Experts) මේ වන විටත් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වමින් සිටින අතර මොජ්ටාබා එහි පෙරමුණේම සිටින අපේක්ෂකයා වේ.
කෙසේ වෙතත්, ලන්ඩන් නුවර පදනම් කරගත් ඉරාන ඉන්ටර්නැෂනල් (Iran International) වැනි විපක්ෂයට හිතවාදී මාධ්‍ය ආයතන වාර්තා කරන්නේ, ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) දැඩි බලපෑම මත මොජ්ටාබා කමේනි දැනටමත් එම ධුරය සඳහා තේරී පත්වී අවසන් බවයි.
මොජ්ටාබා කමේනිගේ පත්වීම විශේෂ වීමට හේතු:
පවුල් පාලනය: 1979 විප්ලවයෙන් පසු ඉරානය පියාගෙන් පුතාට බලය පැවරෙන රාජාණ්ඩු ක්‍රමය ප්‍රතික්ෂේප කළද, මොජ්ටාබාගේ පත්වීම හරහා නැවතත් රාජවංශික ලක්ෂණ මතු වන බව විචාරකයෝ පවසති.
තිරය පිටුපස බලය: මොජ්ටාබා කලක සිටම තම පියාගේ කාර්යාලයේ සිට එරට ආරක්ෂක සහ දේශපාලන තීන්දු තීරණ මෙහෙයවූ බලගතු පුද්ගලයෙකු ලෙස සැලකේ.
ආගමික තරාතිරම: ඔහු උත්තරීතර නායකත්වයට අවශ්‍ය වන ‘අයතුල්ලා’ යන ඉහළම පූජක තරාතිරම මෙතෙක් නිල වශයෙන් දරා නොතිබීම යම් මතභේදයකට තුඩු දී ඇත.
අලි කමේනිගේ අභාවයත් සමඟ ඇති වී තිබෙන මෙම දේශපාලන සංක්‍රාන්තිය මැදපෙරදිග කලාපයේ අනාගත ස්ථාවරත්වයට තීරණාත්මක ලෙස බලපානු ඇතැයි විදේශ විශ්ලේෂකයෝ අනතුරු අඟවති.

