අද (අප්‍රේල් 01) සිට මෙරට ව්‍යාපාරික ක්ෂේත්රයේ සහ පාරිභෝගික භාණ්ඩ මිලෙහි සුවිශේෂී වෙනසක් ඇති කරමින් ක්‍රියාත්මක වීමට තිබූ නව බදු රෙගුලාසියක් හදිසියේම මාස තුනකින් කල් දැමීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
වැට් (VAT) බදු සඳහා ලියාපදිංචි වූ පුද්ගලයින් විසින් නිකුත් කළ යුතු විශේෂිත බදු ඉන්වොයිස් පත්‍ර ක්‍රියාත්මක කිරීමේ දිනය මෙලෙස කල් දමා ඇති අතර, මීට පෙර අද සිට ක්‍රියාත්මක වීමට තිබූ මෙම ක්‍රමය දැන් 2026 ජූලි 01 වැනිදා දක්වා ක්‍රියාත්මක නොවේ.
මෙම බදු නීතිය කල් දැමීම පිටුපස ඇති සැබෑ ආර්ථික බලපෑම පිළිබඳව කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථීක විද්‍යා දෙපාර්තමේන්තුවේ මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ මහතා සුවිශේෂී කරුණු කිහිපයක් අනාවරණය කළේය.
ඔහු පෙන්වා දෙන්නේ වර්තමානය වන විට ජනතාව දැඩි ආර්ථික පීඩනයකට ලක්ව ඇති බවයි.
ගෝලීය තෙල් මිල ඉහළ යෑම නිසා දැනටමත් දේශීය වශයෙන් ඉන්ධන, ගෑස් සහ විදුලි බිල ඉහළ ගොස් ඇත.
තනි පුද්ගල ව්‍යාපාර, ස්වයං රැකියා සහ සුළු පරිමාණ කර්මාන්තකරුවන් බහුලව භාවිතා කරන ඩිජිටල් ප්ලැට්ෆෝම් සඳහා මෙම වැට් බද්ද අය කළහොත් නිෂ්පාදන පිරිවැය තවත් දරාගත නොහැකි ලෙස ඉහළ යනු ඇත.
මෙම බදු ක්‍රමය ක්‍රියාත්මක වූයේ නම්, ඩිජිටල් සේවා සහ තවත් භාණ්ඩ හා සේවා රැසක මිල අද සිටම ඉහළ යාමට නියමිතව තිබුණි.
මෙම මාස තුනක සහනය තුළින් පාරිභෝගිකයාට මෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින්ට තම නිෂ්පාදන පිරිවැය කළමනාකරණය කර ගැනීමට අවස්ථාව හිමි වේ.
පවතින ආර්ථික අර්බුදය හමුවේ රජය ගත් මෙම තාවකාලික පසුබෑම, වෙළඳපොළ මිල ගණන් තවදුරටත් අහස උසට යෑම වැළැක්වීමට ගත් “ආර්ථික උපක්‍රමයක්” ලෙසද විචාරකයෝ හඳුන්වති.

