පිටකොටුවේ සිට අවිස්සාවේල්ල බලා ධාවනය වූ බස් රථයක් තුළදී අස්ථානගත වූ රුපියල් 80,000ක මුදලක් සහ වටිනා ලියකියවිලි අඩංගු පසුම්බියක් එහි හිමිකරු වන විදේශීය හිමිනමකට සුරක්ෂිතව භාරදීමට ශ්‍රී ලංකා යුද හමුදා සෙබළෙකු කටයුතු කර තිබේ.
තම අවංකභාවය ප්‍රදර්ශනය කරමින් ඔහු සිදුකළ මෙම ක්‍රියාව මේ වන විට සමාජයේ දැඩි ඇගයීමට ලක්ව ඇත.
කොළඹ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන මියන්මාර ජාතික ඤානෝ ස්වාමීන්වහන්සේ පසුගිය 06 වැනිදා බස් රථයකින් ගමන් කරමින් සිටියදී මෙම පසුම්බිය අස්ථානගත වී තිබේ.
එහි රුපියල් 80,000ක මුදලකට අමතරව එම හිමිනමට අතිශය වැදගත් වන ලියකියවිලි රැසක් ද අඩංගු වී තිබූ බව වාර්තා වේ.
ශ්‍රී ලංකා යුද හමුදාවේ සේවය කරන ලාන්ස් කෝප්රල් කේ.කේ.පී.කේ. රත්නායක විසින් බස් රථය තුළ තිබී මෙම පසුම්බිය සොයාගෙන ඇත.
ඔහු වහාම ක්‍රියාත්මක වී මේ පිළිබඳව ගොඩගම පුරාණ විහාරයේ විහාරාධිපති පූජ්‍ය කොටිගල නන්දරතන නායක හිමියන් දැනුවත් කිරීමට පියවර ගත්තේය.
අනතුරුව නන්දරතන හිමියන්ගේ මැදිහත්වීමෙන් අදාළ මියන්මාර ජාතික හිමිනම සම්බන්ධ කර ගැනීමට හැකි වී තිබේ.
ඒ අනුව, ගොඩගම පුරාණ විහාරස්ථානයේදී එම මුදල් සහ ලියකියවිලි සියල්ල සුරක්ෂිතව විදේශීය හිමිනම වෙත භාර දීමට කටයුතු කෙරිණි.
විදේශීය සංඝයා වහන්සේ නමකට අත්වූ මෙම අකරතැබ්බයේදී යුද හමුදා සෙබළෙකු පෑ මෙම උදාර ආදර්ශය ශ්‍රී ලාංකේය ගෞරවය ජාත්‍යන්තරය හමුවේ ඉහළ නැංවීමට සමත් වූ බව යුද හමුදාව වැඩිදුරටත් සඳහන් කරයි.

