බංග්ලාදේශයේ රාජ්බාරි දිස්ත්‍රික්කයේ ඩවුලාඩියා (Daulatdia) පර්යන්තයේදී මගී බස් රථයක් පද්මා ගංගාවට පෙරළීමෙන් සිදු වූ දරුණු අනතුරකින් පුද්ගලයින් 23 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කරනවා.
ඊයේ (25) පස්වරුවේ මෙම අනතුර සිදුව ඇත්තේ බස් රථය පර්යන්තයේ සිට ෆෙරි යාත්‍රාවක් වෙත ගොඩවීමට උත්සාහ කිරීමේදීය.
වාර්තා වන අන්දමට වෙනත් කුඩා යාත්‍රාවක් ජැටියේ වැදීම හේතුවෙන් බස් රථයේ රියදුරුට පාලනය කරගත නොහැකිව බස් රථය අඩි 80ක් පමණ ගැඹුරු ගංගාවට පෙරළී ඇත.
බස් රථය ගොඩගැනීමට හම්සා’ (Hamza) නමැති විශේෂ මුදාගැනීමේ නෞකාව සහ දොඹකර ආධාරයෙන් පැය 6ක මෙහෙයුමකින් පසු බස් රථය ගොඩට ගෙන තිබේ.
බස් රථය ගොඩගන්නා අවස්ථාවේදී ඒ තුළ තිබී මළ සිරුරු 14ක් සොයාගත් අතර, පසුව සිදුකළ මෙහෙයුම්වලදී මියගිය සංඛ්‍යාව 23 දක්වා ඉහළ ගොස් ඇත.
මියගිය අය අතර කාන්තාවන් 10 දෙනෙකු සහ කුඩා ළමුන් දෙදෙනෙකුද වන බව බලධාරීන් තහවුරු කර තිබේ.
රාජ්බාරි සිට අගනුවර වන ඩකා බලා ධාවනය වූ මෙම බස් රථයේ මගීන් 40ත් 50ත් අතර පිරිසක් සිට ඇති බව සැක කෙරේ.
අනතුර සිදුවූ වහාම මගීන් 11 දෙනෙකු පමණ පිහිනා ජීවිත බේරාගෙන ඇති නමුත්, තවත් පිරිසක් අතුරුදන්ව ඇති බැවින් මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවට බියක් පවතී.
වර්ෂාව සහ අඳුර හේතුවෙන් තාවකාලිකව නතර කර තිබූ මුදාගැනීමේ මෙහෙයුම් අද (26) උදෑසන නැවත ආරම්භ කර ඇත.

