හෙට සහ අනිද්දා යන දිනවලදී පිරවුම්හල් වෙත ඉන්ධන බෙදාහැරීමේ කටයුතු සිදු නොකරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) නිවේදනය කරනවා.
කෙසේ වෙතත්, මෙම තීරණය මගින් පාරිභෝගිකයින්ට ඉන්ධන ලබාගැනීමේදී ගැටලුවක් ඇති නොවන බව සංස්ථාවේ කළමනාකාර අධ්යක්ෂ මයුර නෙත්තිකුමාරගේ මහතා අවධාරණය කරන්නේ.
ඔහු සඳහන් කළේ ලබන මැයි මාසය දක්වා ප්රමාණවත් ඉන්ධන තොග මේ වන විටත් රට සතුව පවතින බවයි.
පිරවුම්හල්වල කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම සහ ඇණවුම් කිරීමේදී සිදුවන ප්රමාදයන් වළක්වා ගැනීම සඳහා නව වැඩපිළිවෙළක් ද හඳුන්වා දී ඇත.
ඒ අනුව, ඉන්ධන ඇණවුම් සඳහා වන චෙක්පත් සහ අදාළ ලියකියවිලි තොග පර්යන්තය වෙත හෝ ඇණවුම් අංශය වෙත පෙර දිනයේදී භාරදීමට පියවර ගන්නා ලෙස පිරවුම්හල් හිමියන්ට දැනුම් දී තිබේ.
මෙම පියවර මගින් ඉන්ධන සැපයුම වඩාත් විධිමත් කිරීමටත්, පාරිභෝගිකයින්ට පෝලිම්වල රැඳී සිටීමට සිදු නොවන අයුරින් අඛණ්ඩව ඉන්ධන ලබාදීමටත් අපේක්ෂා කරන බව ඛනිජ තෙල් සංස්ථාව වැඩිදුරටත් පවසයි.

