කුමන ජාතික වනෝද්‍යානයේ පිහිටි ඓතිහාසික බඹරගස්තලාව පූජා භූමියේ ලෙනක වැඩ වසමින් සිටියදී උන්වහන්සේ මෙම අනතුරට මුහුණ දී තිබුනා.
පසුගිය ඉකුත් 26 වැනිදා උදෑසන දානය ලබා ගැනීම සඳහා නන්ද හිමියන් සුපුරුදු ස්ථානයට නොපැමිණීම හේතුවෙන්, ඒ පිළිබඳ සොයා බැලීමට වැඩම කළ සියඹලාවැව ජිනාලංකාර හිමියන් විසින් නන්ද හිමියන් වැඩ සිටි ගල්ලෙන පරීක්ෂා කර තිබේ.
එහිදී ලෙන තුළ සාදා තිබූ කුඩා ආවරණ කුටිය තුළ ලේ විලක් මැද මුනින් අතට වැටී සිටි උන්වහන්සේගේ දේහය හමු වී ඇත.
අම්පාර මහා රෝහලේ අධිකරණ වෛද්‍ය කමල් බණ්ඩාර මහතා විසින් පවත්වනු ලැබූ පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වී ඇත්තේ, කොටියෙකු වැනි වන සතෙකුගේ ප්‍රහාරයකින් සිදුවූ දරුණු තුවාල හේතුවෙන් මෙම මරණය සිදුව ඇති බවයි. වැඩිදුර විමර්ශන සඳහා සිරුරේ කොටස් රජයේ රස පරීක්ෂක වෙත යොමු කර තිබේ.
2021 වසරේදී ප්‍රථම වරට මෙරටට වැඩම කළ උන්වහන්සේ, පසුව 2025 ජනවාරි 20 වන දින නැවත පැමිණ බඹරගස්තලාව ආරණ්‍ය සේනාසනයේ ඉතාමත් දුෂ්කරව භාවනායෝගීව වැඩ වාසය කර ඇත.
උන්වහන්සේ සමඟ තවත් දේශීය භික්ෂූන්වහන්සේලා දෙනමක් කිලෝමීටරයක් පමණ දුරින් පිහිටි වෙනත් ලෙන්වල භාවනායෝගීව සිට ඇති බව වාර්තා වේ.
කුඩුම්බිගල ආරණ්‍ය සේනාසනාධිපති පූජ්‍ය පැල්වත්තේ බුද්ධවංශ හිමියන් සඳහන් කළේ, චෙක් රාජ්‍යයේ වෙසෙන උන්වහන්සේගේ ඥාතීන්ගේ තීරණය අනුව දේහය එරටට රැගෙන යෑමට හෝ මෙරටේදීම අවසන් කටයුතු කිරීමට ඉදිරියේදී පියවර ගන්නා බවයි.
නැගෙනහිර දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතාගේ උපදෙස් පරිදි පානම පොලිස් ස්ථානයේ නිලධාරීන් සහ වනජීවී නිලධාරීන් මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

