ලෝකය පුරා පවතින යුදමය වාතාවරණය හමුවේ පීඩාවට පත්ව සිටින සමස්ත ලෝකවාසීන්ටත්, මැදපෙරදිග ඇතුළු විදේශ රටවල සේවය කරන ආදරණීය ශ්‍රී ලාංකිකයන්ටත් සෙත් පතා සුවිශේෂී ආශිර්වාද වැඩසටහන් මාලාවක් ආරම්භ කර තිබෙනවා.
පූජ්‍ය ගලිගමුවේ ඤාණදීප ස්වාමීන් වහන්සේගේ ගෞරවනීය අනුශාසනා සහ මගපෙන්වීම් මත ක්‍රියාත්මක වන මෙම පින්කම, රටටත් ලෝකයටත් යහපත හා සැනසීම උදාකිරීමේ උතුම් අරමුණ පෙරදැරිව සංවිධානය කර ඇත.
මෙම මහා ආශිර්වාද පින්කම් මාලාව ප්‍රධාන පුණ්‍ය භූමීන් තුනක් කේන්ද්‍ර කරගනිමින් සෑම දිනකම සවස 7.00 ට පැවැත්වේ.
අතුරුගිරිය – ශ්‍රී සදහම් පදනම (තිසර මාවත)
හොරණ – බක්කුල මහා සෑ මහා විහාරය
කොට්ටාව – සුව මව් අරණ
ලෝක සාමය සහ ආධ්‍යාත්මික සුවය ප්‍රාර්ථනා කරමින් සියලු බුදු රජාණන් වහන්සේලාගේ ප්‍රථම ධර්ම දේශනාව වන ‘ධම්මචක්කප්පවත්තන සූත්‍රය’ මෙහිදී සජ්ජායනා කෙරේ.
ප්‍රදේශවාසී සැදැහැවතුන්ගේ සහභාගීත්වයෙන් සිදුකෙරෙන මෙම ආශිර්වාද වැඩසටහන මගින් ලොවටම මෙත් සිතින් සෙත් පැතීම සිදුකෙරේ.
රටටත් ලෝකයටත් ආශිර්වාද ප්‍රාර්ථනා කරන, පින් රැස් කර ගැනීමට ලැදි සැදැහැවතුන් හට දිනපතා සවස 7.00 ට ඉහත සඳහන් පුණ්‍ය භූමීන් වෙත පැමිණ මෙම උතුම් ආශිර්වාද පූජාවන් සඳහා සහභාගී විය හැකිය.

