දිවයින පුරා පවතින දැඩි වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් ජල පරිභෝජනය අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් ඇති බැවින්, ජලය අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මහජනතාවගෙන් හදිසි ඉල්ලීමක් කරනවා.
ජල සම්පාදන මණ්ඩලයේ සභාපති චන්දන බණ්ඩාර මහතා සඳහන් කළේ, පවතින වියළි තත්ත්වය ඉදිරියටත් පැවතුනහොත් ජලය බෙදාහැරීම සීමා කිරීමට (Water Cuts) සිදුවන බවයි.
විශේෂයෙන් බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කය තුළ ජල පිරිපහදු මධ්‍යස්ථානවලින් ජලය සැපයිය හැක්කේ සීමාසහිත මට්ටමකට බැවින්, ජලය අපතේ යැවීමෙන් වළකින ලෙස ඔහු අවධාරණය කළේය.
මේ වන විටත් ජල පිරිපහදු මධ්‍යස්ථාන සිය උපරිම ධාරිතාවෙන් ජලය නිෂ්පාදනය කර බෙදාහරිමින් පවතී.
වියළි කාලගුණයත් සමඟ ගංගාවල ජල මට්ටම පහත බැසීම නිසා මෝයකටවල් ඔස්සේ ගංගා තුළට ලවණ ජලය (කරදිය) මිශ්‍ර වීම ඉහළ ගොස් ඇති බවද සභාපතිවරයා අනාවරණය කළේය.
පවතින තත්ත්වය කළමනාකරණය කර ගැනීම සඳහා වාහන සේදීම, ගෙවතු වලට ජලය දැමීම වැනි අත්‍යවශ්‍ය නොවන කටයුතු සඳහා නළ ජලය භාවිතය අවම කරන ලෙස ජල මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටියි.
ජල සැපයුම සම්බන්ධයෙන් පවතින ගැටලු සඳහා 1939 ක්ෂණික ඇමතුම් අංකය අමතන ලෙසද දැනුම් දී ඇත.

