කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ පරිශ්‍රයේදී මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 110කට අධික ප්‍රමාණයක් සමඟ අත්අඩංගුවට ගත් චීවරධාරීන් සම්බන්ධයෙන් නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අවධාරණය කරනවා.
අද (27) පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් වන විමර්ශන කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇති බවයි.
අමාත්‍යවරයා මෙහිදී පවසා සිටියේ වත්මන් රජය යටතේ කිසිදු තරාතිරමක පුද්ගලයෙකුට නීතියෙන් බේරී සිටීමට ඉඩ නොදෙන බවයි.
“අපි බලයට පත්වුණු දින සිට නීතිවිරෝධී ක්‍රියාකාරකම් ගැන සොයා බලා ක්‍රියාමාර්ග ගන්නේ කෙනෙකුගේ තරාතිරම බලලා නෙමෙයි. නීතිය ඉදිරියේ සියලු දෙනාම සමානයි. දුබලයාට එක නීතියකුත් ප්‍රබලයාට තව නීතියකුත් ක්‍රියාත්මක වෙන්න ඉඩක් නැහැ,” යැයි අමාත්‍යවරයා පැවසීය.
චීවරධාරීන් සම්බන්ධ වී ඇති බැවින්, මෙම ක්‍රියාවලිය එක් පැත්තකින් ගරුතර මහා සංඝරත්නයේ අවවාද සහ අනුශාසනා පරිදි සිදු කරන අතරම, අනෙක් පැත්තෙන් සිවිල් නීතිය ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කරන බව ඔහු සඳහන් කළේය.
යම් අයෙක් නීතිවිරෝධී කටයුත්තක නිරත වන්නේ නම්, ඔවුන් කවුරුන් වුවත් නීතියේ රැහැනට හසුකර ගැනීමට පසුබට නොවන බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
රට පුරා ක්‍රියාත්මක වන ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ වැඩපිළිවෙළේ තවත් එක් සාර්ථක පියවරක් ලෙස මෙම වැටලීම හඳුන්වා දුන් අමාත්‍යවරයා, අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය ප්‍රමාණය සහ සැකකරුවන් සම්බන්ධයෙන් දැනටමත් අධිකරණයට කරුණු වාර්තා කර ඇති බවත්, ඉදිරි විමර්ශන වාර්තා මත පදනම්ව දැඩි පියවර ගන්නා බවත් අවධාරණය කළේය.

