![]()
ඉරානයේ මීළඟ ‘යකඩ මිනිසා’ – කමේනිගේ පුත් මොජ්තාබා කමේනි කරළියට
ලෝක දේශපාලනයේ දැවැන්ත පෙරළියක් සිදු කරමින්, ඝාතනයට ලක් වූ අයතුල්ලා අලි කමේනිගේ අනුප්‍රාප්තිකයා ලෙස ඔහුගේ පුත් මොජ්තාබා කමේනි (Mojtaba Khamenei) පත් කිරීමට ඉරානය සූදානම් වන බව ජාත්‍යන්තර රොයිටර් පුවත් සේවය අනාවරණය කරනවා.
මෙය මැදපෙරදිග දේශපාලන සිතියම උඩුයටිකුරු කළ හැකි තීරණාත්මක පියවරක් ලෙස සැලකේ.
අනුප්‍රාප්තිකයා තෝරා ගැනීමේ පරම බලය සහිත 88 දෙනකුගෙන් යුත් ‘විශේෂඥයන්ගේ සභාව’ (Assembly of Experts) ඊයේ (08) රහසිගතව රැස් විය.
එහිදී පැවති ඡන්ද විමසීමේදී මොජ්තාබා කමේනි අතිබහුතරයකගේ කැමැත්ත දිනා ගනිමින් ඉදිරියෙන්ම සිටි අපේක්ෂකයා වී ඇති බව වාර්තා වේ.
ඔහු හුදෙක් පූජකවරයෙකු පමණක් නොවේ. සිය පියා යටතේ ඉරාන ආරක්ෂක අංශ සහ බුද්ධි අංශ තුළ දැවැන්ත බලයක් හෙබවූ, තිරය පිටුපස සිට මෙහෙයුම් දියත් කළ ප්‍රබල චරිතයකි.
එසේම ඔහු එරට ප්‍රබල ව්‍යාපාරික ජාලයන් ගණනාවක පාලනය නතු කරගෙන සිටින අයෙකු ලෙස ද ප්රකටය.
මෙම පත් කිරීමත් සමඟ ඉරාන පාලනය තවදුරටත් දැඩි මතධාරීන් සතුව පවතින බවට පැහැදිලි ඉඟි පළ වී තිබේ.
මොජ්තාබාගේ ආගමනයත් සමඟ ඉරානයේ විදේශ ප්‍රතිපත්තිය සහ බටහිර රටවල් සමඟ පවතින සබඳතා තවදුරටත් දැඩි වනු ඇති බව විචාරකයෝ පවසති.
පියාගේ අඩිපාරේ යමින් මොජ්තාබා ඉරානයේ නව ‘උත්තරීතර නායකයා’ ලෙස කටයුතු කරන්නේ කෙසේද යන්න පිළිබඳව දැන් මුළු ලෝකයේම අවධානය යොමුව ඇත.

