පුත්තලම, බළපිටිය සහ හලාවත මහෙස්ත්‍රාත් අධිකරණවල නඩු කටයුතු අවසන් වූ හෙරෝයින්, කේරල ගංජා ඇතුළු මත්ද්‍රව්‍ය සහ විදේශීය දුම්වැටි තොගයක් අද (27) වනාතවිල්ලුව ලැක්ටෝ වත්ත පොලිස් දහන උදුනේදී විනාශ කරන ලදී.
මෙම මත්ද්‍රව්‍ය විනාශ කිරීම සිදුකරනු ලැබුවේ බළපිටිය සහ හලාවත මහෙස්ත්‍රාත්වරුන්ගේ සෘජු අධීක්ෂණය සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ මැදිහත්වීම මතය.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සඳහන් කළ පරිදි විනාශ කළ මත්ද්‍රව්‍ය ප්‍රමාණය මෙසේය:
හෙරෝයින්: කිලෝ ග්‍රෑම් 22යි ග්‍රෑම් 888ක් (බළපිටිය අධිකරණය)
කේරල ගංජා: කිලෝ ග්‍රෑම් 33යි ග්‍රෑම් 17ක් (බළපිටිය අධිකරණය)
දේශීය ගංජා: කිලෝ ග්‍රෑම් 247යි ග්‍රෑම් 940ක් (හලාවත අධිකරණය)
විදේශීය දුම්වැටි: 7,200ක් (බළපිටිය අධිකරණය)
මෙම මත්ද්‍රව්‍ය තොගය අදාළ අධිකරණ පර්යන්තවල සිට වනාතවිල්ලුව දක්වා රැගෙන එනු ලැබුවේ පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ (STF) දැඩි ආරක්ෂක රැකවල් මධ්‍යයේය.
බළපිටිය මහෙස්ත්‍රාත් පවිත්‍රා සංජීවනි පතිරණ මහත්මිය සහ හලාවත මහෙස්ත්‍රාත් හර්ෂ ද සිල්වා මහතා ඉදිරියේ මෙම විනාශ කිරීමේ ක්‍රියාවලිය සිදුවිය.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නියෝජ්‍ය පොලිස්පති අශෝක ධර්මසේන මහතා සහ එම කාර්යාංශයේ අධ්‍යක්ෂ එච්.එන්.සී.පී. හේරත් මහතා ඇතුළු උසස් නිලධාරීන් පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

