තම කුසින් උපන් වයස අවුරුදු දෙකක කුඩා දියණිය රුපියල් 40,000ක මුදලකට විකුණා, එම මුදලින් ජංගම දුරකථනයක් මිලදී ගත් මවක්, ඇයගේ අනියම් සැමියා සහ දරුවා මිලදී ගත් කාන්තාව ධර්මපුරම් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ධර්මපුරම් ප්රදේශයේ පදිංචි මෙම මව, තම අනියම් ස්වාමිපුරුෂයා සමඟ එක්වී මෙම ජාවාරම සිදුකර ඇත.
ඔවුන් කොළඹ ප්රදේශයේ පදිංචි කාන්තාවකට මෙම දරුවා රුපියල් 40,000කට අලෙවි කර ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය විය.
ප්රදේශයේ ග්රාම නිලධාරීවරයාට ලැබුණු තොරතුරකට අනුව පොලිසියට කළ පැමිණිල්ලක් මත වහාම ක්රියාත්මක වූ ධර්මපුරම් පොලිසිය, විමර්ශන පවත්වා සැකකරුවන් සහ විකුණා දැමූ දැරිය සොයා ගැනීමට සමත් වී ඇත.
දරුවා විකුණා ලබාගත් මුදලින් රුපියල් 15,000ක් වැය කර ජංගම දුරකථනයක් මිලදී ගෙන තිබූ අතර, පොලිසිය විසින් එම දුරකථනයද නඩු භාණ්ඩයක් ලෙස භාරයට ගෙන තිබේ.
පොලිස් නිලධාරීන් සැකකරුවන්ගෙන් ප්රශ්න කිරීමේදී, දරුවා විකුණා ජංගම දුරකථනයක් මිලදී ගත්තේ ඇයිදැයි විමසා ඇත.
එම අවස්ථාවේදී සැකකරුවන් කිසිදු පිළිතුරක් ලබා දීමට නොහැකිව නිරුත්තරව සිටි බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
අත්අඩංගුවට ගත් සැකකාර මව, අනියම් සැමියා සහ දරුවා මිලදී ගත් කාන්තාව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
ධර්මපුරම් පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

