යාපනය, පෙරියවිලාන් ප්රදේශයේදී කාන්තාවන් දෙදෙනෙකුට ගිනි අවියක් පෙන්වා මරණීය තර්ජනය කිරීමේ චෝදනාව මත පාර්ලිමේන්තු මන්ත්රී රාමනාදන් අර්චුනා මහතා පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
යාපනය ප්රදේශයේ පවතින ඉඩම් ආරවුලක් මෙම ගැටුමට මුල් වී ඇති බව වාර්තා වේ.
අදාළ ඉඩම තමන් සතු බව මන්ත්රීවරයා පවසන අතර තවත් පාර්ශවයක් ද එහි අයිතිය ඉල්ලා සිටියි.
මේ සම්බන්ධයෙන් මල්ලාකම් අධිකරණයේ නඩුවක් ද විභාග වෙමින් පවතී.
පසුගිය 25 වැනිදා මන්ත්රීවරයා අදාළ ඉඩම පිරිසිදු කිරීමට ගිය අවස්ථාවේදී එහි පැමිණි කාන්තාවන් දෙදෙනෙකු එම ඉඩමෙන් කොටසක් තමන් සතු බව පවසමින් මන්ත්රීවරයා සමඟ වාදයකට පැටලී ඇත.
එහිදී දැඩි ලෙස කෝපයට පත් මන්ත්රීවරයා, කිසිදු ආයුධයක් නොමැතිව සිටි එම කාන්තාවන් වෙත සිය අතෙහි වූ පිස්තෝලයක් පෙන්වා තර්ජනය කර ඇති බව ප්රාදේශීය වාර්තාකරු සඳහන් කළේය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදාළ කාන්තාවන් විසින් කරන ලද පැමිණිල්ලකට අනුව විමර්ශන සිදුකළ පොලිසිය විසින් මන්ත්රීවරයාව අත්අඩංගුවට ගෙන තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

