දිවයිනේ ප්‍රදේශ රැසක අද (27) දහවල් 1.00න් පසුව කාලගුණයේ පැහැදිලි වෙනසක් සිදුවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
අද දින පස්වරුවේ සිට තැනින් තැන ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැකි අතර, විශේෂයෙන් බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, ඌව සහ උතුරුමැද පළාත්වලත් කුරුණෑගල දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 75 ඉක්මවන තරමක තද වැසි ඇතිවීමේ අවදානමක් පවතී.
මීට අමතරව දකුණු පළාතේ වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදී ද වැසි ඇතිවිය හැකිය.
කාලගුණ වාර්තා පෙන්වා දෙන්නේ මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් අනුරාධපුර, කුරුණෑගල සහ බදුල්ල දිස්ත්‍රික්කවලත් අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පවතින බවයි.
ගිගුරුම් සහිත වැසි සමඟ තාවකාලික තද සුළං සහ දරුණු අකුණු අනතුරු ඇතිවිය හැකි බැවින්, ඉන් සිදුවන හානි අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් දැඩිව ඉල්ලා සිටියි.

