වියට්නාම් ජාතික පූජ්‍ය පඤ්ඤාකර ස්වාමින් වහන්සේ ප්‍රමුඛ භික්ෂූන් වහන්සේගේ මූලිකත්වයෙන් පැවැත්වෙන “ඒහි පස්සිකෝ” සාම පාද යාත්‍රාවේ හයවන දිනය අදයි.
අද උදෑසන යක්කල අබේසේකරාරාමය අසලින් ආරම්භ වූ පාද යාත්‍රාව අද දිනය අවසානයේ කැලණිය රජමහා විහාරය වෙත ළඟා වීමට නියමිතව තිබේ.
මෙම සාම පාද යාත්‍රාවට සමගාමීව හෙට (28) විශේෂ වැඩසටහන් කිහිපයක් සංවිධානය කර ඇත.
ඒ අනුව හෙට උදෑසන කැලණිය රජමහා විහාරයේදී පාසල් සහ විශ්ව විද්‍යාල සිසුන් සමඟ විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන අතර, අනතුරුව පාද යාත්‍රාව කැලණිය විහාරස්ථානයේ සිට නිදහස් චතුරස්‍රය දක්වා ගමන් කරනු ඇත.
“ඒහි පස්සිකෝ” සාම පා ගමනේ නිල රාජ්‍ය උත්සවය හෙට පස්වරුවේ කොළඹ නිදහස් චතුරස්‍රයේදී පැවැත්වෙන්නේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙනි.
සාමය සහ සහජීවනය තේමා කරගනිමින් සංවිධානය වූ මෙම පාද යාත්‍රාව පසුගිය 21 වන දින දඹුල්ල රජමහා විහාරස්ථානයෙන් ආරම්භ විය.
මේ සඳහා දෙස් විදෙස් භික්ෂූන් වහන්සේලා මෙන්ම විශාල බැතිමතුන් පිරිසක් ද එක්ව සිටිති.

