නිතර අනතුරු බහුලව සිදුවන ස්ථානයක් ලෙස හඳුනාගෙන ඇති කහතුඩුව, රිළාවල මංසන්ධියේදී අද පෙරවරුවේ බිහිසුණු රිය අනතුරක් සිදුව තිබෙනවා.
ත්‍රිරෝද රථයක් සහ යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන් සිදුවූ මෙම අනතුරෙන් විශ්වවිද්‍යාල සිසුවෙකු බරපතල තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි අප වාර්තාකරු පවසන්නේ.
කොළඹ – හොරණ ප්‍රධාන මාර්ගයේ කොළඹ දෙස සිට කහතුඩුව දෙසට ධාවනය වූ යතුරුපැදියක්, රිළාවල හන්දියේදී අනතුරට ලක්වන්නේ ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි ත්‍රිරෝද රථයක් හේතුවෙනුයි.
හොරණ දෙස සිට පැමිණි මෙම ත්‍රිරෝද රථය එකවරම මාර්ගය හරහා කිරිගම්පමුණුව දෙසට හැරවීමට උත්සාහ කර ඇති අතර, එහිදී යතුරුපැදිය ත්‍රිරෝද රථයේ ගැටී තිබෙනවා.
යතුරුපැදියේ ගැටීමෙන් පසුවත් ත්‍රිරෝද රථය පාලනය කරගත නොහැකි වූ රියදුරු, එය ඉදිරියටම පදවාගෙන ගොස් මාර්ගය අසල තිබූ ලොතරැයි අලෙවි කුටියක ගැටී නතර වී ඇති බව සදහන්.
ත්‍රිරෝද රථ රියදුරුගේ නොසලකා හැරීම සහ අපරීක්ෂාකාරී රිය ධාවනය හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බව කහතුඩුව පොලීසිය තහවුරු කළා.
අනතුරින් බරපතල තුවාල ලැබූ විශ්වවිද්‍යාල සිසුවා වෑතර දිසා රෝහලට ඇතුළත් කර ඇති අතර, ත්‍රිරෝද රථ රියදුරු මේ වන විට පොලිස් අත්අඩංගුවේ පසුවනවා.

