සාමකාමී අධ්‍යාපන වටපිටාවකට හිමිකම් කියන තුර්කියේ පාසල් පද්ධතිය දැඩි කම්පනයකට පත් කරමින්, එරට ගිනිකොනදිග කහ්රමන්මාරස් (Kahramanmaras) ප්‍රාන්තයේ මධ්‍යම පාසලක සිදුවූ බිහිසුණු වෙඩි තැබීමකින් සිසුන් තිදෙනෙකු සහ ගුරුවරයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
අල්ජසීරා පුවත් සේවය වාර්තා කරන පරිදි මෙම ප්‍රහාරයෙන් තවත් පුද්ගලයින් 20 දෙනෙකු පමණ තුවාල ලබා ඇත.
වාර්තා වන අන්දමට මෙම ඛේදවාචකය සිදු කර ඇත්තේ එම පාසලේම අටවන ශ්‍රේණියේ ඉගෙනුම ලබන ශිෂ්‍යයෙකි.
ඔහු සිය පියාට අයත් ගිනි අවියක් බෑගයක සඟවාගෙන පාසලට රැගෙන විත් ඇති අතර, පන්ති කාමර දෙකකට ඇතුළු වී කිසිදු ඉලක්කයකින් තොරව “හිතුමතේ” වෙඩි තැබීම සිදු කර ඇත.
අවාසනාවන්ත ලෙස මෙම ප්‍රහාරය එල්ල කළ ශිෂ්‍යයා ද එහිදීම මියගොස් ඇති බව ප්‍රාන්ත ආණ්ඩුකාර මුකෙරෙම් උන්ලුයර් තහවුරු කළේය.
තුර්කියේ පාසල් තුළ වෙඩි තැබීම් අතිශය දුර්ලභ සිදුවීම් වුවද, මෙය දින දෙකක් ඇතුළත එරට පාසලකට එල්ල වූ දෙවන ප්‍රහාරය වීම විශේෂත්වයකි.
පසුගිය අඟහරුවාදා ද සන්ලියුර්ෆා ප්‍රාන්තයේ උසස් පාසලක හිටපු ශිෂ්‍යයෙකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයින් 16 දෙනෙකු තුවාල ලැබීය.
ප්‍රහාරයත් සමඟ දැඩි ලෙස කම්පනයට පත් දෙමාපියන් සිය දරුවන් සොයා පාසල වෙත රොක් වී ඇති අතර, තුවාල ලැබූවන් ගිලන් රථ මගින් රෝහල් වෙත රැගෙන යන අයුරු විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
සිද්ධිය වූ ස්ථානය අවට මේ වන විට පොලිස් ආරක්ෂාව දැඩි කර තිබේ.
අධිකරණ අමාත්‍ය අකින් ගුර්ලෙක් (Akin Gurlek) විසින් මෙම සිදුවීම සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස නීති අංශ වෙත නියෝග කර ඇත.
පන්ති කාමරයක් තුළ සිදුවූ මෙම මාරාන්තික වෙඩි තැබීම මුළු තුර්කියම ශෝකයෙන් ඇළලී යාමට හේතු වී තිබේ.

