ලොව පුරා අතිශය ජනප්‍රිය හොලිවුඩ් ක්‍රියාදාම චිත්‍රපට නළුවෙකු මෙන්ම අසමසම සටන් කලා ශිල්පියෙකු වූ චක් නෝරිස් (Chuck Norris) අභාවප්‍රාප්ත වී තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මියයන විට ඔහු 86 වැනි වියේ පසුවූ බවයි.
ප්‍රසිද්ධ සටන් නළුවෙකු මෙන්ම දක්ෂ ආත්මාරක්ෂක සටන් ශිල්පියෙකු ද වූ චක් නෝරිස්, සටන් කලා ක්ෂේත්‍රය පිළිබඳව වටිනා පොත් ගණනාවක් ද ලොවට දායාද කර ඇත.
1940 මාර්තු 10 වනදා අමෙරිකාවේ ඔක්ලාහොමා හීදි උපත ලද චක් නෝරිස්, සිය තාරුණ්‍යයේදී රට වෙනුවෙන් සේවය කිරීමට එක් විය.
ඒ අනුව 1958 සිට 1962 දක්වා ඔහු අමෙරිකානු ගුවන් හමුදාවේ සේවය කළ අතර, ඉන් අනතුරුව රංගන ක්ෂේත්‍රයට පිවිසීමට තීරණය කළේය.
චක් නෝරිස් යන නාමය ලොව පුරා ලැව්ගින්නක් සේ ප්‍රසිද්ධ වීමට ප්‍රධානතම හේතුව වූයේ 1972 වසරේදී ඔහු රඟපෑ සුවිශේෂී චිත්‍රපටයයි.
එහිදී සටන් කලා ලොවේ අග්‍රගන්‍ය නළු බෲස් ලී (Bruce Lee) සමඟ “Way of the Dragon” චිත්‍රපටයේ ඔහු ඉදිරිපත් කළ සටන් ජවනිකාව අදටත් සිනමා ඉතිහාසයේ නොමැකෙන සටහනක් ලෙස සැලකේ.
එතැන් පටන් දශක කිහිපයක් පුරා ක්‍රියාදාම සිනමාවේ සිය අනන්‍යතාවය රැකගත් ඔහු, ලොව පුරා මිලියන සංඛ්‍යාත රසිකයින්ගේ ආදරය දිනා ගැනීමට සමත් විය.
ඔහුගේ අභාවය පිළිබඳ පුවත සැලවීමත් සමඟ ලොව පුරා සිනමා ලෝලීන් සහ කලාකරුවන් සිය ශෝකය පළ කරමින් සිටී.

