අධ්‍යාපන මනෝවිද්‍යාවට සහ ළමා සංවර්ධන මූලධර්මවලට මරු පහරක් එල්ල කරමින්, වයස අවුරුදු 3 සිට 5 දක්වා කුඩා දරුවන් ඉලක්ක කරගෙන ක්‍රියාත්මක වන “මාර්ගගත” (Online) පන්ති සහ සම්මන්ත්රණ පිළිබඳව කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය බියකරු අනාවරණයක් සිදු කරනවා.
වර්තමානයේ වාණිජ පරමාර්ථයෙන් ක්‍රියාත්මක වන මෙම Online සම්මන්ත්රණ ජාලය තුළින් දරුවෙකුගේ අනාගතය අඳුරට ඇද දමන කරුණු රැසක් මේ වන විටත් හෙළි වී ඇති බව අමාත්‍යාංශය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරන්නේ.
ඒ අනුව විද්‍යාත්මක හා මනෝවිද්‍යාත්මක දත්තවලට අනුව, අජීවී තිරයක් දෙස බලා සිටිමින් අධ්‍යාපනය ලැබීමට උත්සාහ කරන කුඩා දරුවන් මුහුණ දෙන අවදානම් මෙසේයි…
මොළයේ වර්ධනය අඩාල වීම: දරුවාගේ මොළය වර්ධනය වන වයසේදී ඔවුන්ව තාක්ෂණික මෙවලම්වලට අධික ලෙස නිරාවරණය කිරීම භයානක සෞඛ්‍ය ගැටලුවලට මග පාදයි.
සමාජීය කුසලතා විනාශ වීම: අසල්වැසි දරුවන් හෝ පරිසරය සමග අන්තර්ක්‍රියා නොකිරීම නිසා දරුවා හුදෙකලා චරිතයක් බවට පත්වෙයි.
අවධානය සහ නිර්මාණශීලීත්වය මොට වීම: එක දිගට තිරයක් දෙස බලා සිටීම නිසා දරුවාගේ අවධානය රඳවා ගැනීමේ හැකියාව හීන වන අතර නිර්මාණාත්මකව සිතීමේ හැකියාව සම්පූර්ණයෙන්ම බාධා පමුණුවයි.
අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ දරුවෙකුගේ හොඳම ගුරුවරයා පරිසරය සහ සජීවී අත්දැකීම් මිස ඩිජිටල් තිරයක් නොවන බවයි.
රජයේ සහ ළමා සංවර්ධන ප්‍රතිපත්තිවලට අනුව පූර්ව ළමාවිය අධ්‍යාපනය ලැබිය යුත්තේ ක්‍රියාකාරකම් පාදක කරගත් සජීවී පරිසරයකදී පමණි.
මෙවැනි මාර්ගගත පන්ති මගින් දරුවාගේ අධ්‍යාපන ප්‍රමිතිය ඉහළ නොයන අතර, සිදු වන්නේ ඔවුන්ගේ ස්වභාවික වර්ධනය අඩාල වීම පමණක් බව දෙමාපියන් වටහා ගත යුතුය.
එබැවින්, වාණිජමය උගුල්වලට හසු වී දරුවන්ගේ මානසික සෞඛ්‍යය විනාශ කිරීමෙන් වැලකී සිටින ලෙසත්, දරුවාගේ අනාගතය පිළිබඳ දැඩි අවධානයෙන් කටයුතු කරන ලෙසත් අමාත්‍යාංශය දෙමාපියන්ගෙන් ඉල්ලා සිටියි.

