මහනුවර නගරය මධ්‍යයේ පිහිටි ඊ.එල්. සේනානායක වීදියේ මැණික් අලෙවි මධ්‍යස්ථානයක අද (13) පෙරවරුවේ ඉතා සූක්ෂ්ම ලෙස සිදුකළ මංකොල්ලයක් පිළිබඳව වාර්තා වෙනවා.
පාරිභෝගිකයෙකු ලෙස වෙළඳසැලට ඇතුළු වූ පුද්ගලයෙකු එහි හිමිකරු අසරණ කර රුපියල් ලක්ෂ 60ක් පමණ වටිනා මැණික් තොගයක් රැගෙන පලාගොස් තිබේ.
අද පෙරවරු 10:00ට පමණ අදාළ මැණික් පරීක්ෂා කිරීමේ සහ අලෙවි කිරීමේ මධ්‍යස්ථානයට මැණික් මිලදී ගැනීමේ මුවාවෙන් පුද්ගලයෙකු පැමිණ ඇත.
ඔහු ව්‍යාපාරිකයා සමඟ මැණික් පිළිබඳව සුහදව කතාබස් කරමින් සිටින අතරතුර, එක්වරම තම සන්තකයේ තිබූ කිසියම් දියරයක් ව්‍යාපාරිකයාගේ මුහුණට ඉස තිබේ.
එම ප්‍රහාරයෙන් ව්‍යාපාරිකයා දැඩි අපහසුතාවයට පත්ව අසරණ වූ මොහොතේ, සැකකරු විසින් මැණික් තොගය අඩංගු පෙට්ටිය රැගෙන වහාම එම ස්ථානයෙන් පලාගොස් ඇත.
කොල්ලකන ලද මැණික් තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 60ක් පමණ වන බවට දැනට ගණන් බලා තිබේ.
සිද්ධිය පිළිබඳව ව්‍යාපාරිකයා විසින් කරන ලද පැමිණිල්ලකට අනුව මහනුවර පොලිසියේ අපරාධ විමර්ශන අංශය වහාම පරීක්ෂණ ආරම්භ කර ඇත.
සැකකරු ව්‍යාපාරික ස්ථානයට ඇතුළු වන ආකාරය සහ කොල්ලයෙන් පසු පලායන ආකාරය එහි සවිකර තිබූ ආරක්ෂිත කැමරාවල (CCTV) ඉතා පැහැදිලිව සටහන්ව තිබේ.
එම දර්ශන උපයෝගී කරගනිමින් සැකකරු කවුරුන්ද යන්න හඳුනා ගැනීමටත්, ඔහු අත්අඩංගුවට ගැනීමටත් මහනුවර පොලිසිය පුළුල් මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇත.

