
මැදපෙරදිග අර්බුදය හමුවේ ඉන්ධන අරපිරිමැස්මෙන් පාවිච්චි කරන්න – තෙල් සංස්ථාවෙන් ජනතාවට දැනුම්දීමක්
මැදපෙරදිග කලාපයේ පවතින යුද ගැටුම් හමුවේ උද්ගතව ඇති ගෝලීය බලශක්ති අර්බුදයට මුහුණ දීම සඳහා, හැකිතාක් ඉන්ධන පිරිමැසීමකින් යුතුව පරිභෝජනය කරන ලෙස ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
අද (10) මාධ්‍ය වෙත අදහස් දක්වමින් සභාපතිවරයා අවධාරණය කළේ, පවතින තත්ත්වය හමුවේ ඉන්ධන පරිභෝජනය අවම කිරීම සඳහා ස්වයං පාලනයකින් යුතුව කටයුතු කිරීම අත්‍යවශ්‍ය බවයි.
ඉන්ධන මිල ඉහළ යාම සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළ ඒ මහතා පවසා සිටියේ, පසුගිය දින කිහිපය තුළ ඉන්ධන හිඟයක් ඇති වනු ඇතැයි යන අනියත බිය හේතුවෙන් ජනතාව වැඩි වශයෙන් ඉන්ධන මිලදී ගැනීමට පෙළඹුණු බවයි.
මෙලෙස අධික ලෙස ඉන්ධන රැස් කිරීම, මිල ඉහළ යාමට ප්‍රධානතම හේතුවක් වූ බවත්, එසේ නොවන්නට මෙම මස අවසානය දක්වාම පවතින මිල ගණන් යටතේ ඉන්ධන ලබාදීමේ හැකියාව තිබූ බවත් සභාපතිවරයා මෙහිදී පෙන්වා දුන්නා.
වර්තමාන බලශක්ති අර්බුදය සමස්ත ලෝකයටම බලපා ඇති බැවින්, සාමූහිකව වගකීමෙන් කටයුතු නොකළහොත් ඉදිරියේදී දැඩි අවදානමකට මුහුණ දීමට සිදු විය හැකි බවත්, ඒ අනුව සියලු දෙනා එක්ව පරිභෝජනය සීමා කිරීමට දායක විය යුතු බවත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කරනවා.

