
ලෝක ආර්ථිකය කඩා වැටීමේ අවදානමක්! තෙල් මිල ඩොලර් 150 දක්වා ඉහළට යන ලකුණු?
ගෝලීය වෙළෙඳපොළේ බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල 2022 ඔක්තෝම්බර් මාසයෙන් පසු ප්‍රථම වතාවට ඇමරිකානු ඩොලර් 90 සීමාව පසුකර ගොස් ඇති බව බීබීසී පුවත් සේවය වාර්තා කරනවා.
මැදපෙරදිග කලාපයේ හටගෙන ඇති දැඩි නොසන්සුන්තාවය හමුවේ, ලෝක ආර්ථිකයට බරපතල බලපෑමක් එල්ල වීමේ අවදානමක් මතුව ඇති බවයි එම වාර්තා පෙන්වා දෙන්නේ.
රුසියා-යුක්රේන යුද්ධයෙන් පසු ඇති වූ බලශක්ති අර්බුදයට සමාන හෝ ඊටත් වඩා දරුණු තත්ත්වයක් මෙලෙස උද්ගත විය හැකි බවට ආර්ථික විශේෂඥයෝ අනතුරු අඟවනවා.
කටාර් බලශක්ති අමාත්‍ය සාද් අල්-කාබි මින් පෙර විශේෂ අනතුරු ඇඟවීමක් කරමින් සඳහන් කළේ, කලාපීය ගැටුම් හේතුවෙන් බලශක්ති අපනයනය දීර්ඝ කාලයකට අත්හිටුවීමට සිදුවුවහොත්, බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 150 දක්වා ඉහළ යා හැකි බවයි.
මෙය ලෝකයේ බොහෝ රටවල ආර්ථිකයන් මුළුමනින්ම කඩා වැටීමට (Economic Collapse) හේතු වනු ඇති බව ඔහු වැඩිදුරටත් පෙන්වා දී තිබේ.
ලෝකයේ සමස්ත තෙල් නිෂ්පාදනයෙන් 1/3ක් සහ ස්වභාවික වායු නිෂ්පාදනයෙන් 17%ක් සැපයෙන්නේ ගල්ෆ් කලාපයෙනි.
කෙසේ වෙතත්, ඉරානය විසින් හෝර්මුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) හරහා ගමන් කරන නෞකාවලට එල්ල කරන තර්ජන හේතුවෙන්, මේ වන විට තෙල් ටැංකි නෞකා 300ක් පමණ එම ප්‍රදේශයේ අතරමං වී තිබීම තත්ත්වය තවත් දරුණු කර ඇත.
මෙම බලශක්ති අර්බුදය හමුවේ ඉදිරි මාස කිහිපය තුළ ලෝක වෙළෙඳපොළේ භාණ්ඩ හා සේවා මිල ගණන් සීඝ්රයෙන් ඉහළ යාමේ දැඩි ප්‍රවණතාවක් පවතින බව විදේශීය මාධ්‍ය වාර්තා කරයි.

