
දළදා හිමි වැඩමවූ මහා පින්කඳ දෙව්ලොවට වැඩම කොට අදට වසර 4යි
සෙංකඩගල පුරවරයේ වීදි දෝංකාර දුන් සාදු නාද මධ්‍යයේ, ලොව්තුරා බුදු පියාණන් වහන්සේගේ ශ්‍රී සධාතුක කරඬු වහන්සේ තම උත්තමාංගය මත දරාගෙන වැඩම කළ ඒ අභිමානවත් “ඇත් රජු” අප කෙරෙන් සමුගෙන අදට වසර 4ක කාලයක් සපිරෙනවා.
දළදා වහන්සේ වැඩමවන මොහොතේ උන්වහන්සේගේ දෑස්වල තිබූ ඒ අහිංසක නිහතමානී බවත්, මහා ගාම්භීරත්වයත් දුටු ඕනෑම සැදැහැවත් හදවතක බුදු ගුණ කෙරෙහි අපමණ භක්තියක් නිරායාසයෙන්ම ජනිත වෙයි.
මහපොළොව පවා නොසොල්වා, අඩියෙන් අඩිය ඉතා ගෞරවයෙන් තැබූ ඒ පින්බර පාද සටහන් අද අප අතර නැතත්, ඒ මතකය සදාකාලිකවම ලක්වැසි බෞද්ධ ජනතාවගේ හදවත් තුළ නොමැකී පවතිනු ඇත.
කස හඬ, පන්දම් එළිය සහ මහා බෙර හඬ මධ්‍යයේ දහස් ගණන් බැතිමතුන්ගේ “සාදු.. සාදු..” නාදය අස්සේ, නැදුන්ගමුවේ රාජා ගමන් කළේ හුදෙක් සතෙකු ලෙස නොව, සම්බුදු සසුනේ මුරදේවතාවකු ලෙසිනි.
කරඬු වහන්සේ වැඩමවන විට උන්වහන්සේ තුළ තිබූ ඒ මහා සංයමයත්, භක්තියත් දකින විට, මෙය පෙර ආත්මයක සිටම පැමිණි මහා පිනක ප්‍රතිඵලයක් බව නිසැකයි.
මහා පින්කඳක්ව සිටි ඒ ඇත් රජු නික්ම ගියේ මුළු මහත් දැයක්ම කඳුළින් තෙත් කරමිනි.
උත්තම දළදා වහන්සේ වැඩමවීමේ අනුහසින් ලබාගත්තා වූ ඒ අපරිමිත කුසල බලයෙන්, මේ නික්ම ගිය පින්වත් ඇත් රජුට මතු මෙත් බුදුන් දකිනා ජාතිය දක්වාම පින්බර උපත් ලබා, සසර දුක කෙළවර කොට අමා මහ නිවන් සුවයෙන් සැනසෙන්නට වාසනාව උදාවේවායි අපි එක සිතින් ප්‍රාර්ථනා කරමු.

