රතිඤ්ඥා හා ගිනිකෙළි කර්මාන්තය ආශ්රිත නිෂ්පාදනවලට නිකුත් කරනු ලබන අමුද්‍රව්‍ය භාවිත කරමින් හක්කා පටස් සහ චීන පටස් නැමති නීතිවිරෝධී පුපුරණ ද්‍රව්‍ය නිෂ්පාදනය සිදුකරනු ලබන බවට තොරතුරු ලැබී ඇති බව නිවේදනයක් නිකුත් කරමින් ආරක්ෂක අමාත්‍යංශය
පෙන්වා දී තිබෙනවා .
නීතිවිරෝධීව නිෂ්පාදනය කරනු ලබන හක්කා පටස් සහ චීන පටස් භාවිත කරන පුද්ගලයින්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවයි එම අමාත්‍යංශය පවසා සිටින්නේ .
වගාබිම්වලින් වනසතුන් පළවා හැරීම සඳහා බහුලව භාවිතා වන මෙම නීතිවිරෝධී පුපුරණ ද්‍රව්‍ය මඟින් පසුගිය කාල සීමාව තුළ පුද්ගල මරණ කිහිපයක් ද වාර්තා වී තිබෙනවා .
මිට අමතරව මෙම පුපුරණ ද්‍රව්‍ය හේතුවෙන් සැලකිය යුතු පාරිසරික සහ සංරක්ෂණ අභියෝග ද මතුවී ඇති බව ආරක්ෂක අමාත්‍යංශය පෙන්වා දී තිබෙනවා .
මේ වන විටත් තහනම් කර ඇති හක්කා පටස් සහ චීන පටස් නැමැති මෙම පුපුරණ ද්‍රව්‍ය නිෂ්පාදනය, බෙදාහැරීම සහ විකිණීම සම්බන්ධ ක්‍රියාකාරකම් තවදුරටත් සිදුවන බවට තොරතුරු ලැබී ඇති බැවින් එම ක්‍රියාකාරකම් නැවැත්වීම සඳහා දිවයින පුරා විශේෂ මෙහෙයුම් සිදුකිරීමට සැලසුම් කර ඇති බවයි සඳහන් වන්නේ .
පොලීසිය සමඟ ඒකාබද්ධව මෙම මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට නියමිත අතර එම නීතිවිරෝධී ක්‍රියාවල නිරත පුද්ගලයින්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමටත් උපදෙස් ලබාදී ඇති බව ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කර සිටියා .
එමෙන්ම රතිඤ්ඥා සහ ගිනිකෙළි නිෂ්පාදනයේ නියැලී සිටින පුද්ගලයින් මින් ඉදිරියට මෙවැනි නීතිවිරෝධී නිෂ්පාදන කටයුතුවල නියැලී සිටින බව හෝ ඒ සඳහා ආධාර අනුබල දී ඇති බව තහවුරු වුවහොත් ඔවුන්ට නිකුත් කර ඇති රතිඤ්ඥා සහ ගිනිකෙළි නිෂ්පාදන බලපත්‍ර අවංලගු කිරීමට ද කටයුතු කරන බවත් ආරක්ෂක අමාත්‍යංශය වැඩිදුරටත් පවසා සිටියා .

