දිවයිනේ ප්‍රදේශ රැසක පවතින අධික උණුසුම් කාලගුණික තත්ත්වය හමුවේ කුඩා දරුවන් සහ වැඩිහිටියන් දැඩි සෞඛ්‍ය අවදානමකට ලක්විය හැකි බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවනවා.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට අනුව අද දිනයේත් දිස්ත්‍රික්ක රැසක උණුසුම් දර්ශකය ඉහළ මට්ටමක පවතිනු ඇතැයි අපේක්ෂා කරන අතර, මේ සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍යවරුන් පිරිසක් ඊයේ (13) විශේෂ කරුණු පැහැදිලි කිරීමක් සිදු කළා.
මෙහිදී අදහස් දැක්වූ වංසගත රෝග විද්‍යා අංශයේ විශේෂඥ වෛද්‍ය අතුල ලියනපතිරණ, කොළඹ ජාතික රෝහලේ වෛද්‍ය රුවන් ජයසූරිය සහ රිඡ්වේ ආර්යා රෝහලේ විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා යන මහත්වරුන් පෙන්වා දෙන්නේ, පවතින අධික රශ්මිය හමුවේ සිරුර විජලනය වීම වැළැක්වීමට හැකි සෑම විටම ජලය හෝ සුදුසු දියර වර්ග පානය කිරීම අත්‍යවශ්‍ය බවයි.
විශේෂයෙන්ම පිපාසය දැනෙන තෙක් නොසිට නිතර ජලය පානය කිරීමෙන් සිරුරේ උෂ්ණත්වය පාලනය කරගත හැකි බව ඔවුන් අවධාරණය කරනවා.
මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ බස්නාහිර, සබරගමුව, දකුණ, උතුරු මැද සහ වයඹ පළාත්වලත්, මොණරාගල, මන්නාරම සහ වව්නියාව යන දිස්ත්‍රික්කවලත් අද දිනයේ උණුසුම් දර්ශකය ‘අවධානය’ යොමු කළ යුතු මට්ටමක පවතින බවයි.
මෙලෙස ඉහළ යන උණුසුම හමුවේ ඇති විය හැකි සිරුරේ මස්පිඩු පෙරළීම, දැඩි විඩාව සහ ආඝාත තත්ත්වයන් පිළිබඳව අවධානයෙන් පසුවීම ඉතා වැදගත් වනවා.
විශේෂයෙන්ම පාසල් දරුවන් සහ එළිමහනේ සේවය කරන පුද්ගලයින් සෘජු හිරු රශ්මියට නිරාවරණය වීම හැකිතාක් සීමා කළ යුතු බවයි වෛද්‍යවරුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.
එමෙන්ම, යම් හෙයකින් අධික විඩාව හෝ ක්ලාන්තය වැනි අසාමාන්‍ය සෞඛ්‍ය තත්ත්වයක් මතු වුවහොත් වහාම වෛද්‍ය උපදෙස් ලබා ගන්නා ලෙස සෞඛ්‍ය අංශ මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

