ඉරානය සහ ඊශ්‍රායල – අමෙරිකානු හවුල්කාරීත්වය අතර පවතින දැඩි යුද උණුසුම මධ්‍යයේ, ලෝක ආර්ථිකයට තීරණාත්මක බලපෑමක් එල්ල කරන හෝමූස් සමුද්‍ර සන්ධියෙන් (Strait of Hormuz) සුවිශේෂී පුවතක් වාර්තා වේ.
යුද්ධය ආරම්භ වීමෙන් අනතුරුව ප්‍රථම වතාවට, ප්‍රංශය, ජපානය සහ ඕමානයට අයත් නෞකා කිහිපයක් ඊයේ (අප්‍රේල් 3) සාර්ථකව මෙම සමුද්‍ර සන්ධිය තරණය කර තිබේ.
අමෙරිකාව සහ ඊශ්‍රායලය ඉරානයට එරෙහිව යුද ප්‍රකාශ කිරීමෙන් පසු, ඉරානය විසින් බටහිර රටකට අයත් නෞකාවකට (ප්‍රංශ බහාලුම් නෞකාව) සිය මුහුදු සීමාව හරහා යාමට අවසර දුන් පළමු අවස්ථාව මෙයයි.
ප්‍රංශයට අයත් බහාලුම් නෞකාවක්, ජපානයට අයත් ගෑස් ප්‍රවාහන නෞකාවක් සහ ඕමානයට සම්බන්ධ නෞකා 3ක් මෙලෙස ගමන් කර ඇත.
මෙම නෞකා ගමන් කර ඇත්තේ ඉරානය විසින්ම නම් කරන ලද විශේෂිත ආරක්ෂිත මුහුදු මාර්ගයක් ඔස්සේ වීම විශේෂත්වයකි.
පර්සියානු බොක්ක ආශ්‍රිතව දැනටමත් ජපානයට අනුබද්ධ නෞකා 45ක් පමණ රඳවා ඇති බව වාර්තා වේ.
මෙම නව තත්ත්වයත් සමඟ යුද වාතාවරණය මධ්‍යයේ වුවද අත්‍යවශ්‍ය භාණ්ඩ හා බලශක්ති ප්‍රවාහනය සඳහා යම් කිසි “සහනදායී මාවතක්” විවෘත වනු ඇතැයි බොහෝ දෙනා බලාපොරොත්තු පළ කරති.
කෙසේ වෙතත්, ඉරානය මෙලෙස අවසර ලබා දෙන්නේ කුමන පදනමක් යටතේ ද සහ තවත් නෞකා කීයකට ඉදිරියේදී අවසර ලැබෙනු ඇත්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැත.

