පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ ඇති වූ හදිසි බිඳවැටීමක් හේතුවෙන්, අද (27) සිට නැවත දැනුම් දෙනතුරු එම දෙපාර්තමේන්තුවේ සියලුම මහජන සේවාවන් තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.
මෙම තීරණයත් සමඟ ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවාව ඇතුළු අනෙකුත් සියලුම සාමාන්‍ය සේවාවන් ද අඩාල වී ඇත.
ඊයේ (26) පස්වරුවේ පද්ධතියේ සිදු වූ මෙම කාර්මික දෝෂය හේතුවෙන් සේවාවන් පවත්වාගෙන යාමට නොහැකි වී ඇති බව දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
පද්ධතිය යථා තත්ත්වයට පත් කළ වහාම ඒ පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමට කටයුතු කරන බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අවධාරණය කරයි.
එබැවින්, සේවාවන් ලබා ගැනීමට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටින ජනතාවට ඉන් සිදුවන අපහසුතාවය මඟහරවා ගැනීම සඳහා දෙපාර්තමේන්තුව වෙත පැමිණීමට පෙර මේ පිළිබඳව විමසිලිමත් වන ලෙස දැනුම් දෙනු ලැබේ.

