දළදා සමිඳුන් වැඩමවූ නැදුන්ගමුවේ විජය රාජා යළි වඩියි – ලබන 11 වනදා සිට මහජන ප්‍රදර්ශනයට
වසර ගණනාවක් පුරා ශ්‍රී දළදා සමිඳුන්ගේ සදාකාලික උත්තම පූජාව වූ කරඬු වහන්සේ වැඩමවූ, ජාතික වස්තුවක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති නැදුන්ගමුවේ විජය රාජා හස්තියා යළිත් මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.
ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සනුජා කස්තුරිආරච්චි මහත්මිය අද (09) පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකදී ප්‍රකාශ කළේ, ලබන මාර්තු 11 වනදා සිට කොළඹ ජාතික කෞතුකාගාරයේ ඇති ස්වභාවික විද්‍යා කෞතුකාගාරයේදී මෙම ප්‍රතිනිර්මාණය කළ හස්තියා මහජනයාට දැකබලා ගත හැකි බවයි.
2022 වසරේදී මෙලොව හැර ගිය විජය රාජා හස්තියා යළි ප්‍රතිනිර්මාණය කිරීම අතිශය අභියෝගාත්මක කාර්යයක් වූ බව නිලධාරීන් පෙන්වා දෙයි.
මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 25කට අධික මුදලක් වැය වී ඇති අතර, හස්තියාගේ ස්වාභාවික පෙනුම ආරක්ෂා වන පරිදි විශේෂිත වීදුරු කුටියක තැන්පත් කර ප්‍රදර්ශනය කෙරේ.
නියෝජ්‍ය අධ්‍යක්ෂ (සත්ව විද්‍යා) ලංකානි සෝමරත්න මහත්මිය සඳහන් කළේ, හස්තියාගේ සම ඉවත් කර ඉතා නිවැරදි මිමිවලට අනුව විද්‍යාත්මක ක්‍රමවේද ඔස්සේ මෙම ප්‍රතිනිර්මාණය සිදු කළ බවයි.
මෙලෙස සංරක්ෂණය කළ සත්වයකු වසර 500ක කාලයක් කිසිදු හානියකින් තොරව සුරක්ෂිතව තබාගත හැකි වීම විශේෂත්වයකි.
දළදා සමිඳුන්ගේ ආශිර්වාදය ලත්, මුළු මහත් ලාංකික ජනතාවගේම ආදරය දිනූ ඒ අභිමානවත් මතකය යළිත් දෑසින් දැකබලා ගන්නට දැන් ඔබටත් අවස්ථාව උදා වී තිබේ.

