
ඩීසල් මිල ඉහළ ගියත් බස් ගාස්තු වෙනස් වෙයිද? – ජාතික ගමනාගමන කොමිසමෙන් පිළිතුරක්
ඩීසල් මිල ඊයේ (09) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගැනීමත් සමඟ, බස් ගාස්තු සංශෝධනයක් සිදුවේද යන්න පිළිබඳව මගී ජනතාව තුළ දැඩි කතාබහක් නිර්මාණය වී තිබෙනවා.
කෙසේ වෙතත්, ඩීසල් මිල ඉහළ ගියද බස් ගාස්තු සංශෝධනයක් සිදු නොවන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව අවධාරණය කරන අතර ඒ පිළිබඳව අදහස් දක්වමින් එහි අධ්යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් මිරැන්ඩා මහතා පැවසුවේ, ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට සිදුවූ ඩීසල් මිල වැඩිවීම බස් ගාස්තු සංශෝධනය කිරීම සඳහා ප්‍රමාණවත් බලපෑමක් නොකරන බවයි.
බස් ගාස්තු තීරණය කරනු ලබන විද්‍යාත්මක පදනම සහ පවතින ගාස්තු ප්‍රතිපත්තියට අනුව, මෙම මිල ඉහළ යාම හමුවේ වුවද දැනට පවතින බස් ගාස්තු ඒ අයුරින්ම ඉදිරියටත් පවත්වාගෙන යන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 22කින් සහ ලංකා සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 24කින් ඉහළ නැංවීමට පියවර ගෙන තිබුණා.
ඩීසල් මිල මෙලෙස ඉහළ යාම හමුවේ බස් ගාස්තු ද ඉහළ යනු ඇතැයි මගී ජනතාව බිය පළ කළද, ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ මෙම තීරණයත් සමඟ මගී ජනතාවට යම් සහනයක් ලැබී තිබෙනවා.

