සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන පලනි ශිරාන් ග්ලෝරියන් නොහොත් “කොච්චිකඩේ ශිරාන්” නැමැත්තාගේ අනුගාමිකයෙකු වන ශ්‍රීධරන් නිරන්ජන් නොහොත් ‘ටින්කර්’ අද උදෑසන දිවයිනට රැගෙනවිත් තිබෙනවා .
ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කරන ලද අවශ්‍ය කරන සැකකරුවෙකු වන ඔහු අද (01) අලුයම් කාලයේදී කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින් පෑලියගොඩ පොලිස් ස්ථානයේ නිලධාරින් වෙත භාරදී ඇති බවයි සඳහන් වන්නේ .
සැකකරු වයස අවුරුදු 36 ක් වන කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව පොලීසිය පවසා සිටියා .
අත්අඩංගුව ගත් මොහු 2025.08.19 වන දින පෑලියගොඩ පොලිස් වසමේ ශ්‍රී ඥානරතන මාවතේදී පුද්ගලයෙකු වෙඩිතබා ඝාතනය කර තවත් පුද්ගලයෙකුට බරපතළ තුවාල සිදු කිරීමේ අපරාධයේ සැකකරුවන්ට අපරාධය සිදු කිරීමට අවශ්‍ය ගිනි අවි ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය කර සිටි සැකකරුවෙකි.
එසේම ඔහු 2024.10.16 දින ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ මහවත්ත පොදු සුසාන භූමිය ආසන්නයේ නවතා තිබූ ත්‍රීරෝද රථයක සිටි පුද්ගලයෙකුට වෙඩිතබා ඝාතනය කිරීමේ අපරාධයේ සැකකරුවන් පැමිණි කාර් රථයේ රියදුරු ලෙස කටයුතු කර තිබෙනවා .
දැනට මෙම සැකකරුට එරෙහිව විදෙස් ගමන් තහනමක් ද පනවා ඇති අතර, සැකකරු අගෝස්තු 19 වන දින විදෙස් ගතවී ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වි තිබෙනවා .
පොලිසිය පවසා සිටියේ සැකකරු අලුත්කඩේ අංක 05 ගරු මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බවයි .
කෙසේ වෙතත් අදාල විමර්ශන කටයුතු පෑලියගොඩ පොලීසිය විසින් සිදුකරනු ලබනවා .

