එක්සත් ජාතීන්ගේ රාජ්‍ය නායක සමුළුවට සහභාගි වීම සඳහා අමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නුවර බලා ඊයේ (22) රාත්‍රියේ පිටත්ව ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එම සංචාරය නිමවා ලබන 27දා ජපානය බලා පිටත්ව යෑමට නියමිතව තිබෙනවා .
ශ්‍රී ලංකා – ජපාන මිතුදම තවදුරටත් ශක්තිමත් කරමින් ජපන් රජයේ ආරාධනයකට අනුව තෙදින නිල සංචාරයක් සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙලෙස ජපානය බලා පිටත්ව යනු ඇත .
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වැනි සැසිවාරය ජනාධිපතිවරයා විසින් හෙට (24) අමතනු ලබන අතර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා ලේකම්වරයා සහ ලෝක රාජ්‍ය නායකයන් කිහිපදෙනකු සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡාවලට එක් වීමට ද නියමිතව ඇත .
අමෙරිකා එක්සත් ජනපදයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් සමඟ හමුවකට ද සහභාගි වනු ඇත. පසුව ජපානයට යන ජනාධිපතිවරයා එළැඹෙන 30දා තෙක් ජපානයේ රැඳී සිටින අතර ජපන් අධිරාජ්‍යයා හමු වීමට නියමිතය.
ශ්‍රී ලංකා ජනාධිපතිවරයා විසින් ජපන් අගමැතිවරයා සමඟ අන්‍යොන්‍ය වශයෙන් වැදගත් කරුණු ගණනාවක් පිළිබඳව අවධානය යොමු කෙරෙන සමුළු රැස්වීමක් ද පැවැත්වීමට නියමිත බව එම අමාත්‍යාංශය පෙන්වා දෙනවා .
ශ්‍රී ලංකාවේ වර්ධනය වන ආර්ථික අවස්ථා කෙරෙහි අවධානය යොමු කරමින්, ටෝකියෝවේ ප්‍රමුඛතම ජපන් ව්‍යාපාර සහ ආයෝජකයන්ගේ, ඉහළ පෙළේ නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන ව්‍යාපාරික සංසදයක් ඇමැතීමට ද ජනාධිපතිවරයා එක්වනු ඇත.
2025 එක්ස්පෝ ප්‍රදර්ශනයේ ශ්‍රී ලංකා දිනයේදී, ජපන් රජයේ ආරාධිතයකු ලෙස, “එක්ස්පෝ 2025 ඔසාකා” (EXPO 2025 Osaka) ප්‍රදර්ශනය සඳහා ද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහභාගි වීමට නියමිතය.

