ඊශ්‍රායලයේ රැකියාවක් සඳහා ගොස් අතරමං වී සිටින බවට සමාජ මාධ්‍ය ඔස්සේ තොරතුරු වාර්තා වූ තරුණයා ඊයේ (20) උදෑසන දිවයිනට පැමිණි බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය සදහන් කර සිටියා .
මෙම තරුණයා මොණරාගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු ඊශ්‍රායලයේ ඉදිකිරීම් අංශයේ රැකියාවක් සඳහා මෙම වසරේ අගෝස්තු මස 9 දින ඊශ්‍රායලය බලා පිටත්ව ගොස් තිබෙනවා .
එදින සිටම නිසි පරිදි සේවා ස්ථානයේ නොරැඳී විෂමාචාරවල යෙදෙමින් අවට සැරිසරමින් සිට ඇති බවයි සඳහන් වන්නේ.
කෙසේ වෙතත් මොහු පිළිබඳව ඔහුගේ පවුලේ සාමාජිකයින් විසින් අගෝස්තු මස 30 දින විදේශ සේවා නියුක්ති කාර්යංශයට පැමිණිලි කර ඇති අතර, ඒ අනුව සිදුකළ සොයාබැලීමේදී මොහු ජෙරුසලම ප්‍රදේශයේ රැදී සිටියදී හමුවී තිබෙනවා .
ඒ වන විට ඔහුගේ පැවති දුර්වල සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් සැප්තැම්බර් මස 5 වන දින ජෙරුසලම රෝහලට ඇතුළත් කළද එදින රාත්‍රියේ ඔහු එම රෝහලින්ද පැන ගොස් ඇති බවයි වාර්තා වුයේ .
ඊශ්‍රායල් තානාපති කාර්යාලයේ නිළධාරීන් විසින් අදාළ තරුණයා මෙම කෙටි කාල සිමාව තුළදී කිහිපවරක් සිය භාරයේ රඳවා ගැනීමට උත්සහ කලද එය ව්‍යර්ථ වී තිබෙනවා .
කෙසේ හෝ සැප්තැම්බර් 16 වන දින මොහු පිළිබඳව කරුණු අනාවරණය වීමෙන් අනතුරුව තානාපති කාර්යාලයේ රඳවා තබාගෙන ඇත.
විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත්, නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර හා කාර්යාංශ සභාපති කෝශල වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි, ඊශ්‍රායලයේ ශ්‍රි ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා විසින් අවශ්‍ය කඩිනම් පියවර ගැනීමෙන් අනතුරුව මෙම තරුණයා ඊයේ දිවයිනට ගෙන්වා ගැනීමට හැකියාව ලැබුණා .
ඔහුගේ අයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් තානාපති කාර්යාලයේ කම්කරු සුභසාධන අංශයේ නිළධාරිනියකද අදාළ තරුණයා සමග මෙරටට පැමිණීමට පියවර ගෙන තිබුණු අතර දිවයිනට ලගාවීමෙන් අනතුරුව ඔහු ඥාතීන් වෙත භාරදීමට කාර්යාංශයේ ගුවන් තොටුපළ ඒකකයේ නිලධාරීන් කටයුතු කර තිබෙනවා .

